කඩා වැටුනු යානාවලින් ලැබුණු පිටසක්වල තාක්ෂණය කෝ?

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

අභ්‍යවකාශයේදී විදුලිය නිපදවා පොලොවට සම්ප්‍රේශණය කිරීමට සැරසේ

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

Screens දෙකක් සහිත device එකකට Samsung patent අයිතිය ලබා ගනී

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

පිටසක්වල ජීවීන් හා යානා පිලිබඳ අමෙරිකානු රජයේ මෙහෙයුම්

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

විශ්ව කැලැන්ඩරයේ අබිරහස *(Stonehenge)


ස්ටෝන්හෙන්ජ් Stonehenge: පැරැන්නන්ගේ විශ්ව කැලැන්ඩරයේ අබිරහස

පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත්, කැපී පෙනෙන, ශ්‍රේෂ්ඨ නිර්මාණ බි‍්‍රතාන්‍යයේ දකින්න ලැබෙන්නේ නැහැ. ඒත් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත අබිරහසක් නම් එංගලන්තයේ තියෙනවා. මේ අබිරහස තමයි, ස්ටෝන්හෙන්ජ් Stonehenge ගල්කනු. අද නම් ඒක ස්මාරකයක් ලෙස සැලකෙනවා. ඒක ඇත්තෙන්ම හරිම අපූරුයි. හැබෑම අබිරහසක් බවට කිසිම සැකයක් නැහැ. ඉතිං මොක්කද ඒ අබිරහස? ඒ අබිරහස තමයි, මේ ගල් කනු ස්මාරකය මොකක්ද? කවුද හැදුවේ? මොකටද හැදුවේ? කවදාද හැදුවේ? ආදී ප‍්‍රශ්නවලට හරිහැටි පිළිතුරු ඉදිරිපත් කරන්න විද්‍යාවට නොහැකි වීමයි. නමුත් පුරාවිද්‍යාඥයන් කියන්නේ එය ලොව පැරණිම දින දර්ශනයක් එසේත් නැතිනම් කැලැන්ඩරයක් කියලයි.




ස්ටෝන්හෙන්ජ්: තාරකා විද්‍යා කැලැන්ඩරය
ශතවර්ෂ ගණනාවක් තිස්සේ ස්ටෝන්හෙන්ජ් ගැන නොයෙක් විධියේ පැහැදිලි කිරීම් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අතුරින් ස්ටෝන්හෙන්ජ් ඉදිකළ කාලය ගැන තොරතුරු සොයා ගැනීමට හැකිවුනත් ස්ටෝන්හෙන්ජ් හරියටම කුමක් දැයි කියන්න පැහැදිලි කළ හැකි වී නැහැ. සමහර බි‍්‍රතාන්‍ය ජාතිකයන් විශ්වාස කළේ එය පැරණි රජවරුන්ගේ සොහොන් බිමක් ලෙසයි. සමහරුන් කීවේ පේගන් දෙවියන්ට පුද පූජා පැවැත්වූ දෙවොලක් කියායි. තවත් අය කීවේ සුප‍්‍රකට ආතර් රජුගේ මායාකරු මර්ලින් විසින් නිර්මාණය කරන ලද්දක් කියායි. අතීතයේ කවුරු කොහොම කීවත් ඒත් මෑත කාලයේදී නම් තවත් අපූරු තර්කයක් ඉදිරිපත් වුණා. ඒ ස්ටෝන්හෙන්ජ් උසස් තාක්ෂණික දියුණුවක් ඇති පිටසක්වල ජීවී කොට්ඨාශයකගේ අපූරු නිර්මාණයක් ලෙසයි. වර්තමාන විද්‍යාඥයන්ගේ මතය ස්ටොන්හෙන්ජ් පුරාණ තාරකා විද්‍යාඥයන් විසින් භාවිතා කළ ඉතාමත් සංකීර්ණ දිනදර්ශනයක් යන්නයි.

ස්ටෝන්හෙන්ජ් ගැන වැරදි වැටහීම්
16 වැනි සියවසේ විසූ බි‍්‍රතාන්‍ය පුරාවස්තු රැස්කරන්නන් කීවේ ස්ටෝන්හෙන්ජ් ගල්කනු යනු ඩෲයිඞ් පූජකයන් වැඳුම් පිදුම් කළ පූජනීය දේවාලයක් කියලයි. ඩෲයිඞ් කියලා කියන්නේ කෙල්ටික් පූජකයන් පිරිසකි. කෙල්ටික් සංස්කෘතිය බටහිර යුරෝපයේ මුල් බැසගෙන තිබුණේ රෝම අධිරාජ්‍ය සමයේදීයි. මේ ඩෲයිඞ් පූජකයෝ ඇදහූයේ පේගන් ආගමයි. ඔවුන්ගේ දෙවිවරුන් වුණේ සොබාදහමයි. ගස්වැල්, ගංගා ඇළදොළ, අහස පොළොව ආදිය. ඔවුන් දක්ෂ මායාකරුවන් බවට ප‍්‍රචලිතයි. ඒ නිසා ස්ටෝන්හෙන්ජ් ඩෲයිඞ් උරුමයක් කියලා විශ්වාස කරලා ආදරේ කරන්න බි‍්‍රතාන්‍ය වැසියෝ බොහොමයක් පෙලඹුණා. කවියන් ස්ටෝන්හෙන්ජ් ගැන කවි ලීවා. 1960 දශකයේදී ඩෲයිඞ් පූජකයන්ට ඇලූම් කළ පිරිස් ඔවුන් වගේ දිගු ලෝගුවලින් සැරසිලා සෑම වසරකම ගී‍්‍රස්ම සෘතුවේ ස්ටෝන්හෙන්ජ් වටා එක්රොක් වී පැරැන්නෝ කළාක් මෙන් යාගහෝම උත්සව පවත්වන්න වුණා.



පුරාවිද්‍යාත්මක වටිනාකමක්
පාෂාණධාතු විද්‍යාඥයන්ගේ මතයේ හැටියට ස්ටෝන්හෙන්ජ් හුඟක් පැරණියි. අවස්ථා තුනකදී කොටස් තුනකින් ඉදි වී ඇති එහි මුල් කොටස කි‍්‍රස්තු පූර්ව 3100ට අයත්. ඩෲයිඞ්වරුන් පහළ වෙන්නට බොහොම ඉස්සරින්. එංගලන්තයේ සැලිස්බරිහී සිට කි.මී. 15ක් පමණ දුරින් පිහිටා ඇති මේ ස්ටෝන්හෙන්ජ්හී ප‍්‍රධාන ලක්ෂණය වන්නේ දැවැන්ත ගල් කුලූනු පෙළක් කවාකාරව තැන්පත් කර තිබීමයි. මේවා නව ශිලායුගයට (කි‍්‍රස්තු පූර්ව 4500ත් 1500ත් අතර කාලයට) අයත් ඒවා ලෙසයි සැලකෙන්නේ.

ඕබ්රි සිදුරු
පැරණි කොටසේ තියෙනවා වටකුරුව තැනූ ඉවුරක් හා විශාල ප‍්‍රදේශයක් පුරා පැතිරුණු වළක්. එහි විශ්කම්භය මීටර් 10ක් පමණ වෙනවා. ඒ වටා තියෙනවා, වළල්ලක් ආකාරයට විහිදුණු, සෙ.මී 130ක් පළල කුඩා සිදුරු පෙළක්. ඒවා 1666 දී ජෝන් ඕබ්රි විසින් මුලින්ම සොයා ගත් නිසා ‘ඕබ්රි සිදුරු’ කියා හැඳින්වෙනවා. දෙවන අදියරට අයත් මේ සිදුරුවලින් හෙළිවන්නේ මෙහි දැවවලින් කළ දැවැන්ත ඉදිකිරීමක් පැවති බවයි.



ස්ටෝන්හෙන්ජ් තුන්වන අදියර
අද දක්නට ලැබෙන්නේ මේ ස්ටෝන්හෙන්ජ් තුන්වන අදියරයි. එහි දැවැන්ත ගල් කුලූනු 30ක් කවාකාරව තැන්පත් කර තියෙනවා. ඒ කාලයේ රෝදය ගැන දැනීමක් මේවා ඉදි කළ අයට නොතිබුණු නිසා මේවා මෙහි ගෙන ඒමත් විස්මයක්. මේ එකක් මීටර් 4ක් උසයි. මේ තරම් විශාල ගල් කුලූනු මෙහි ගෙන එන්නට ඇතැයි සැලකෙන්නේ මෙහි සිට කි.මී. 40ක් පමණ එපිට ගල්වළකින්. ප‍්‍රධාන කවය ඇතුළේ ඇති අශ්ව ලාඩමක හැඩයට තබා ඇති නිල් පැහැ ගල් විශේෂය මෙහි ගෙනැවිත් ඇත්තේ වේල්සයෙන්. එය කි.මී. 248ක් දුරින් පිහිටි තැනක්.

ජෙරල්ඞ් හෝකින්ස් කියන දේ
1963 දී ජෙරල්ඞ් හෝකින්ස් කියන තාරකා විද්‍යාඥයා විසින් පළ කරන ලද ‘ස්ටෝන්හෙන්ජ් ඩිකෝඩඞ්’ නම් පොතෙන් එයා කරුණු දක්වා තියෙනවා, පැරැන්නන් මේ ස්ටෝන්හෙන්ජ් ඉදි කර ඇත්තේ අහස නිරීක්ෂණය කිරීමට කියා. සූර්යයා කේන්ද්‍ර කර ගෙන ඉදි කර ඇති මෙහි එක් ගල් කුළකින් සූර්යයා සමකයෙන් ඈත්වන අවස්ථා හඳුනා ගත හැකියි. ඔහු දක්වන ආකාරයට මෙය ගල්යුගයේ පැවති සූර්ය කැලැන්ඩරයක්. මේ මගින් පැරණි මිනිසුන් සූර්ය ග‍්‍රහණ සිදුවීම පිළිබඳ අනාවැකි පවා කියන්නට ඇතැයි හෝකින්ස් ඔහුගේ පොතෙන් හෙළිදරවු කර තියෙනවා.

විශ්වයෙන් ආ අබිරහස් සංඥා


විශ්වයෙන් ආ අබිරහස් සංඥා : ලෝකයේ නොවිසඳුණු අබිරහස්

අපේ මේ විශ්වය කොතරම් විශාලද? මේ විශ්වයේ සිටිනා බුද්ධිමත් ජීවීන් වන්නේ මනුෂ්‍යයන් පමණක්ද? එහෙම නැත්නම් අපි විශ්වයේ පෘථිවිය නමින් හැඳින්වෙන මේ ග‍්‍රහලොවේ ජීවත් වන බුද්ධිමත් ජීවීන් කොට්ඨාශයක් පමණද? පිටසක්වළ ජීවීන් හා පියාඹන පීරිසි ගැන අපට විටින් විට අසන්න ලැබෙනවා. පිටසක්වළ යානා, පිටසක්වළ ජීවීන්ගේ ඡායාරූප විදෙස් පුවත් සේවා හරහා දකින්න ලැබෙනවා. ශී‍්‍ර ලංකාවට ද පිටසක්වළ ජීවීන් පැමිණි බවට නොයෙක් නොයෙක් අවස්ථාවලදී අපට අසන්නට ලැබුණා. පිටසක්වළ ජීවීන් හා පියාඹන පීරිසි ගැන ඇති උනන්දුව නිසාම චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය පවා නිර්මාණය වෙනවා. පොත්පත් සඟරා ආදිය පළ වෙනවා. පිටසක්වළ ජීවීන් විසින් මිනිසුන් පැහැර ගෙන ගිය අවස්ථා සහ මිනිසුන් යොදා සිදු කළ විවිධ පර්යේෂණ ගැන අසන්න ලැබෙනවා.




මේ දේවල්වල ඇත්ත නැත්ත කුමක්ද? ඇත්තටම පිටසක්වළ ජීවයක් පවතීද? නැතිනම් මේ විශ්වයේ ජීවය පවතින එකම ග‍්‍රහලෝකය අපේ පෘථිවිය පමණක්ද? අපේ ක්ෂීරපථයෙන් ඈත වෙනත් මන්දාකිණිවල ජීවය පවතීද? අප මේ ලිපි පෙළෙන් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නේ පිටසක්වළ ජීවීන් ගැන, පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් සොයමින් සිදු කෙරෙන විද්‍යාත්මක පර්යේෂණ ගැන අලූත් ම තොරතුරයි. ඒවගේ ම පිටසක්වළ ජීවීන් පිළිබඳ අපූරු, අද්භූත රසවත් තොරතුරු රැසක් ද ඒ සමඟ ගෙන එනවා.

පිටසක්වළ ජීවීන් හොයන ‘සෙටී’ මෙහෙයුම
පිටසක්වළ ජීවය පවතිනවාදැයි සොයා බැලීම් සිදු කෙරෙන්නේ සෙටී SETI මෙහෙයුම මගිනුයි. සෙටී යනුවෙන් හැඳින්වෙන්නේ Search for Extraterrestrial Intelligence හෙවත් පිටසක්වළ බුද්ධිමත් ජීවීන් සිටීදැයි සිදු කරන මෙහෙයුමටයි. මෙය නොදන්නා දේවල් සොයා සිදු කෙරෙන විද්‍යාත්මක මෙහෙයුමකි. ”දැනට අපට සතුව ඇත්තේ ප‍්‍රශ්න වැලක් පමණයි. ඒත් කවදා හෝ දිනයක ඒ ප‍්‍රශ්නවලට අපට පිළිතුරු ලබා ගැනීමට ගැනීමට හැකි වූ විට අපේ මුළු ලොවම වෙනස් වේවි” මෙසේ පවසන්නේ සෙටී මෙහෙයුම දියත් කළ ‘ග‍්‍රහලෝක එකමුතුව’ Planetary Society නම් සංවිධානයයි.

‘සෙටී’ මෙහෙයුම කි‍්‍රයාවට නැංවූ හැටි
‘සෙටී’ මෙහෙයුම කි‍්‍රයාවට නැංවෙන්නේ ලොව පුරා නොයෙක් ස්ථානවල ස්ථාපිත කර ඇති රේඩියෝ දුරේක්ෂ නැතහොත් ගුවන් විදුලි දුරේක්ෂ යොදා ගනිමිනි. මෙම දුරේක්ෂ ආධාරයෙන් නිරතුරුව ම ඈත විශ්වයට තරංග හෝ සංඥා හෝ නිකුත් කර යැවෙනවා. විශ්වයේ බුද්ධිමත් ජීවීන් ඇත්නම් මෙම සංඥා හඳුනා ගෙන, තේරුම් ගෙන ඔවුන් ප‍්‍රතිසංඥාවක් එවුවොත් එය සවන් දීමට හා ග‍්‍රහණය කිරීමට සූදානමින් සිටීම සෙටී මෙහෙයුමේ ප‍්‍රධානතම අරමුණයි. දැනට කි‍්‍රයාත්මක මේ ‘සෙටී’ මෙහෙයුමේ ආරම්භයත් ඒ හා සම්බන්ධ සිදුවීම් හරිම අපූරුයි.

ජොසලීන් බෙල්ගේ අපූරු අත්දැකීම
1967 වසරේ ගිම්හානයේ කේම්බි‍්‍රජ් සරසවියේ ගුවන් විදුලි තාරකා විද්‍යාව හදාරමින්, ආචාර්ය උපාධියට සූදානම් වෙමින් සිටි ජොසලීන් බෙල් නම් සිසුවියට ආචාර්ය උපාධි නිබන්ධනයේ කොටසක් ලෙස පැවරුණේ නවතම ගුවන් විදුලි තරංග දුරේක්ෂය යොදා ගනිමින් ග‍්‍රහලෝක අතර සහ ක්ෂීරපථයෙන් එපිට දීප්තිමත් විකිරණ ප‍්‍රභවයන් ගැන විමසීමක් කරන්නටයි.

විශ්වයෙන් ආ අබිරහස් සංඥාව
මේ පිළිබඳව පරීක්ෂණ කරමින් සිටියදී ඇගේ දුරේක්ෂ ලේඛයෙහි අපැහැදිලි යම් දෙයක් දිගින් දිගටම සටහන් වෙන්න පටන් ගත්තා. බෙල් සහ ඇගේ උපදේශක ටෝනි හෙවිෂ් මුලින් සිතුවේ පෘථිවියේ ගුවන් විදුලි තරංග නිසා දුරේක්ෂයට එල්ල වූ බාධාවක් එලෙස සටහන් වන බවයි. ඊට හේතුව ගුවන් විදුලි තරංග නිසා මෙවැනි බාධාවීම් සාමාන්‍යයෙන් සිදුවන නිසයි. ඒ බාධාව මඟ හරවා ගන්න බෙල් සහ හෙවිෂ් උත්සහ කළත් ඔවුන් අසාර්ථක වුණා. ඔවුන්ට ඒ සංඥාව මඟ හැරීමට නොහැකි වුණේ එය විශ්වයේ ඈත කොහේ හෝ තැනක සිට ලැබුණු දෙයක් නිසයි.

අබිරහස් සංඥාව පරීක්ෂා කෙරේ
මේ අබිරහස් සංඥාව තවදුරටත් පරීක්ෂා කිරීමේ දී ඔවුන්ට තවත් අපූරු දේවල් හෙළිකර ගැනීමට හැකිවුණා. එය වඩාත් සුපරීක්ෂාකාරීව විමසද්දී ඔවුන්ට පෙනී ගියා, මෙම සංඥා නිකුත් වන්නේ අති සියුම් කාල පරාසයක් තුළ දී බව. හරියටම මෙම සංඥා අතර කාලය තත්පරයකින් 3 යි 2/3ක පංගුවක්. මේ අන්දමට ඉතාමත් නිවැරදිව, නිශ්චිතව සංඥාවක් නිකුත් කළ හැක්කේ කෙසෙද? විශ්වයේ ඇති ස්වාභාවික ගුවන් විදුලි සංඥාවලින් මෙවැන්නක් නිකුත් විය හැකි ද? 1967 වසරේදී කාටවත් ඒ ගැන අවබෝධයක් තිබුණේ නැහැ.

‘පුංචි කොළපාට කුරුමිට්ටෝ’
මේ ගැන පරීක්ෂණ සිදුකළ පරීක්ෂකයන් අවසානයේදී නිගමනය කළේ මේ සංඥාවේ මූලාශ‍්‍රය ස්වාභාවිකව ඇති වූ දෙයක් නොවන බවයි. ඔවුන්ට එසේ ලැබුණේ පිටසක්වළ ජීවීන්ගේ සංඥාවක්ද ? මේ ගැන නොයෙක් වාද විවාද ඇතිවුණා. ඇතැම් අය ඒ ගැන උපහාසයෙන් කතා කරන්න පටන් ගත්තා. ඔවුන් මේ සංඥා LGM කියන ඉංගී‍්‍රසි අකුරු තුනෙන් හඳුන්වන්න පටන් ගත්තා. ‘පුංචි කොළපාට කුරුමිට්ටන්’ යන අරුත් ඇති Little Green Men කියන වැකියේ මුල් අකුරු යොදා ගත්තේ ඒ පර්යේෂණයෙන් හෙළි වූ දේ විහිළුවට ලක් කරන්නයි.



අබිරහස් සංඥාව ගැන උනන්දුවක්
මෙම අලූත් සොයා ගැනීමත් සමඟ ලොව පුරා විද්‍යාඥයන් රැසක් කේම්බි‍්‍රජ් අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය හා සම්බන්ධ වුණා. ඒ ගැන තොරතුරු විමසන්න පටන් ගත්තා. මෙසේ කාගේත් උනන්දුව වැඩි වීමත් සමඟ ජොසලීන් බෙල්ට මේ අබිරහස් සංඥාව හසුකර ගැනීමටත් ඒ හා සමාන තවත් සංඥා ඇත්දැයි සොයා බැලීමටත් ඇගේ කාලය වැඩිපුර යොමු කරන්න සිදු වුණා. එදා තමා ඒ ගැන සතුටක් පළ නොකළ බව අතීත සිදුවීම් මෙනෙහි කරන බෙල් කියයි. ”ඒ කාලේ මම මගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් වෙහෙස මහන්සි වෙමිනුයි හිටියේ. මං තෝරා ගත්තේ නව තාක්ෂණයක්. ඒත් අන්තිමේදී මට ඒක කරදරයක් වුණා. විශ්වයේ ඈත සිටින පිටසක්වළ කොළපාට කුරුමිට්ටන් පිරිසක් මගේ සංඛ්‍යාතයත් මගේ ඇන්ටෙනාවත් යොදා ගත්තා අප සමඟ සන්නිවේදනය කරන්න” 1967 ජොසලීන් බෙල්ට ලැබුණු ඒ අබිරහස් සංඥාව කුමක්ද? එය අපට වඩා බුද්ධිමත් පිටසක්වළ ජීවීන් පිරිසක් විසින් එවූ සංඥාවක්ද? ඒ ගැන විස්තර තවත් ලිපියකින් බලාපොරොත්තු වන්න.

ඩයිනසෝරයන් හිටිහැටියේ මියගියේ කොහොමද?


මිහිමත රජ කළ ඩයිනසෝරයන් හිටිහැටියේ මියගියේ කොහොමද? මහා අබිරහස විසඳෙයි

ඩයිනසෝරයන් මිහිමතින් වඳ වී ගියේ කොහොමද? 20 වැනි සියවසේ විද්‍යාඥයන්ට විසඳා ගන්න නොහැකි වූ මහා අබිරහස මෙයයි. ඊට නොයෙක් නොයෙක් හේතු ඉදිරිපත් වුණා. ඩයිනසෝරයන් මියගියේ රෝගයක් වැළඳීමෙන්, නියඟයක් ඇති වී සාගින්නෙන්, කාලගුණ විපර්යාස නිසා ආදී තර්ක ප‍්‍රබල සාක්ෂි ඇතිව ඉදිරිපත් කෙරුණත් ඒවායින් නිවැරදි දේ කුමක්දැයි නිශ්චිතව හෙළි වුණේ නැහැ. ඩයිනසෝරයන් වඳ වී ගියේ මීට වසර මිලියක 65 කට පෙර පෘථිවියේ ගැටුණු මහා උල්කාවක් නිසා බවත් එම උල්කාව පොළොවේ ගැටීම පරමාණු බෝම්බ බිලියනයක් තරම් බවත් විද්‍යාඥයන් හෙළි කළා. මෙය නිල වශයෙන් ලොවට හෙළි කළේ ජාත්‍යන්තර විද්වත් මණ්ඩලයක් විසිනුයි. ඔවුන් මේ සඳහා වසර 20 ක් පුරා එක් කරගත් සාක්ෂි පාදක කර ගත්තා. ක‍්‍රිටේසීය-ති‍්‍රයාසීක (KT) වඳ වී යාම සිදුවෙද්දී එවකට මිහිමත ජීවත් වූ ජීව විශේෂයන්ගෙන් හරි අඩකට වඩා වැඩි ප‍්‍රමාණයක් මිහිමතින් අතුගා දැමුණා.




වසර මිලියන ගණනාවකට පෙර ජීවත් වූ මේ දැවැන්ත උරගයන් ‘බිහිසුණු උරගයා’ යන අරුත් දෙන ‘ඩයිනසෝර්’ යන නාමයෙන් හැඳින්වූයේ රිචඞ් ඕවන් විසිනුයි. ඒ 1842 වසරේදී ඔවුන්ගේ අස්ථි සොයා ගැනීමට පොසිල විද්‍යාඥයන් උනන්දුවීමත් සමඟයි. 1842 වසරේ සිට මේ දැවැන්තයන්ගේ අස්ථි සොයා ගැනුණු නමුත් ඔවුන් මියගිය අයුරු අබිරහසක් වුණා. වසර මිලියන 65 කට ඈත අතීතයේ පෘථිවියේ රජ කළ මේ දැවැන්තයන් සත්ත්ව ලොවේ පවා රජුන් ලෙසයි, ජීවත් වුණේ. අද ඔවුන්ගේ කතාව හමුවන්නේ පොසිලකරණයට ලක්වූ පොසිල සාක්ෂිවලිනුයි. ඒ සාක්ෂිවලින් පැහැදිලි වන එක් කරුණක් තමයි, ඔවුන් හරියටම මීට වසර මිලියන 65 කට කලින් පෘථිවියෙන් සදහටම වඳ වී ගියාය යන කාරණාව. ඔවුන්ගේ මේ හදිසි අභාවය පරම්පරා ගණනාවක් තිස්සේ පොසිල විද්‍යාඥයන් මවිතයට පත් කිරීමට සමත් වුණා. ඩයිනසෝරයන්ගේ හදිසි වඳ වීම ගැන විද්‍යාඥයන් විවිධ තර්ක ඉදිරිපත් කළා. උන් වඳවුණේ ස්වාභාවික ව්‍යසනයක් නිසා ද? ලොව පුරා පැතිර ගිය නියඟයක් හෝ වසංගත රෝගයක් හෝ නිසා ද? නැත්නම් පෘථිවියේ සිදුවූ වෙනස්වීම් නිසා කාලගුණ විපර්යාසයක් ඇති වෙලා ඩයිනසෝරයන්ට ඊට ඔරොත්තු දීමට නොහැකි වූ නිසා ද? විද්‍යාඥයන් ඉදිරිපත් කළ තර්ක තමයි මේවා. සමහරුන්ගේ මතය වූයේ කුරුල්ලන් වැනි ටෙරසෝර් සත්ත්වයන් හා සාගරයේ රජ කළ දැවැන්ත මූදු උරගයන් විනාශ වුණේ පෘථිවියේ ඇති වූ ගිනිකඳු පිපිරීම් නිසා කියලයි. එම ජීවීන් මීට අවුරුදු මිලියන 1.5 කට කලින් ජීවත් වුණේ වර්තමාන ඉන්දියාවෙහියි.

තුන්ගුස්කා පිපිරීම
ඩයිනසෝරයන් හිටිහැටියේ මිහිපිටින් තුරන් වුණේ ඇයි කියන අබිරහස තමයි 20 වැනි සියවසේ මහා අබිරහස හැටියට සැලකෙන්නේ. 1908 ජූනි 30 වැනිදා රුසියාවේ සයිබීරියානු කලාපයේ තුන්ගුස්කා ගංගාව අසළ කිසියම් පිපිරිමක් සිදුවුණා. මේ පිපිරීම සිදුවූ ස්ථානයේ සිට වටේට සැතපුම් නවයක් දුරින් පිහිටි ගස් සියල්ල දැවී අළු වී දූවිලි බවට පත් වුණා. සැතපුම් 25 ක් දුරින් තිබූ සියලූම දේ මියගියා. මේ පිපිරුම සිදුවූයේ රුසියාවේ මිනිස් පහසින් තොර හුදෙකලා වනගත ප‍්‍රදේශයක නිසා විද්‍යාඥයන්ට ඒ සිදුවූයේ කුමක්දැයි තේරුම් බේරුම් කර ගැනිමට හැකි වූයේ 1927 වසරේදීයි. පිපිරීමෙන් ඇති වුණු විශාල ආවාටයේ පස් පරීක්ෂා කිරීමේදී එහි ඉරේඩියම් විශාල ප‍්‍රමාණවලින් තිබෙන බව ඔවුන්ට තේරුම් ගියා.



පිටසක්වළින් ආ ඉරේඩියම්
ඉරේඩියම් කියන සංඝටකය තිබෙන්නේ අභ්‍යවකාශ ග‍්‍රහකවල හා උල්කාපාතවලයි. ඒ අනුව තුන්ගුස්කා පිපිරුමේ අබිරහස විසඳුණා. තුන්ගුස්කා ප‍්‍රදේශයට කඩා වැටී තිබුණේ අඩි 100 ක පමණ විෂ්කම්භයක් ඇති ග‍්‍රහකයක්. එය පොළෝ මට්ටමේ සිට සැතපුම් පහක් පමණ ඉහළින් තමයි ගිනි ගෙන පුපුරා ගියා කියලා කියන්නේ.

ලූවී අල්වාරේ සහ ඔහුගේ පුතු කී දේ
1980 වසරේදී භෞතික විද්‍යාඥ ලූවී අල්වාරේ සහ ඔහුගේ පුතු වෝල්ටර් අපූරු අදහසක් ලොවට ඉදිරිපත් කළා. ඔවුන් කීවේ ඩයිනසෝරයන් හිටිහැටියේ වඳවී ගියේ තුන්ගුස්කාවට කඩා වැටුණු ග‍්‍රහකය වැනි ග‍්‍රහක විශාල ප‍්‍රමාණයක් පෘථිවියට කඩා වැටීමෙන් කියලයි. ඔවුන් මේ සම්බන්ධයෙන් සාක්ෂි පවා ඉදිරිපත් කළා. ඔවුන් පෘථිවියේ නන්දෙසින් ලබා ගත් පස් සාම්පල හා පොසිල පරීක්ෂා කළා. මේ පස් සාම්පල හා පොසිල කි‍්‍රටේසීය (ඒ කියන්නේ ඩයිනසෝරයන් ජීවත් වූ යුගය) සහ ති‍්‍රයිතීක අවධිය (ඩයිනසෝරයන් වඳවී ගියාට පසු ඇතිවූ යුගය) අතර මැද පස් සාම්පලයි. මේ පස් සාම්පලවල මැටි පස් අතරේ ඉරේඩියම් ස්තර ඇති බව අල්වාරෝ පිය පුතු දෙපළ කීවා.

ඩයිනසෝරයන් මැරුවේ උල්කාපාතයක්
ලූවී අල්වාරේ සහ වෝල්ටර් ඉදිරිපත් කළ අදහස තමයි, දැවැන්ත උල්කාවක් පොළොවේ ගැටීමෙන් ඩයිනසෝරයන් විනාශ වුණා කියන කාරණාව. උල්කාව පෘථිවියේ ගැටීමේදී ඇති වූ මහා පිපිරුමෙන් සියලූම ජීවීන් අළු වී දූවිලි බවට හැරුණු බවත් පිපිරුමෙන් හට ගත් දූලි වලාව වායුගෝලය වසා ගන්න ඇති බවත් ඔවුන් කියනවා. වායුගෝලය දූවිලි තට්ටුවලින් වැසී ගියාට පස්සේ පොළොවට වැටෙන හිරු එළිය වසර ගණනාවක් තිස්සේ නොලැබී ගියා. පෘථිවිය අඳුරු වුණා. සීතල වෙන්න පටන් ගත්තා. උල්කාවේ ගැටුමෙන් විනාශ නොවූ සතා සිවුපාවා පවා සෙමින් සෙමින් මියැදෙන්න පටන් ගත්තා. මේ දූවිලි තට්ටු කෙමෙන් කෙමන් නැතිවී ගියාට පස්සේ තමයි, ඒවා මැටි සමඟ පොළොවේ ස්තරයක් ලෙස නිර්මාණය වුණේ. ඒත් අල්වාරේ පිය පුතු ඉදිරිපත් කළ මේ තර්කය ඉකුත් සතිය වනතෙක්ම කිසිවෙක් හරිහැටි විශ්වාස කළේ නැහැ. එය ප‍්‍රතික්ෂේ නොකළ හැකි අදහසක් හැටියට විතරයි සැලකුවේ.


මෙක්සිකෝවෙන් හමුවූ ආවාටය
1990 දී උතුරු මෙක්සිකෝවේ යුකාටාන් අර්ධද්වීපයේ චිෂුලූබ් නම් නගරයට පහළින් සැතපුම් 122 ක් විෂ්කම්භයක් සහිත උල්කාපාත ආවාටයක් ඇති බව විද්‍යාඥයන් සොයා ගත්තා. මේ උල්කා ආවාටය හමුවුණේ 1978 වසරේදීයි. ඩයිනසෝරයන්ට වින කළ ඒ ග‍්‍රහකය වැටුණු ආවාටය මෙය යැයි විද්‍යාඥයන් අනුමාන කරනවා. මේ ආවාටය වසර මිලියන 65 ක් තරම් පැරණියි. ඒ අනුව ඩයිනසොරයින්ගේ මළගම සිදුවුණේ පිටසක්වළින් ආ ග‍්‍රහකයක් නිසා යන තර්කයට ප‍්‍රබල සාක්ෂියක් හමුවුණා.



විද්වත් මණ්ඩලය කියන දේ
කිලෝ මීටර 15 ක විෂ්කම්භයකින් යුත් උල්කාවක් පොළොවේ ගැටුණු බවත් එම ගැටීමේදී ජපානයේ හිරෝෂීමාවට දැමූ පරමාණු බෝම්බය මෙන් බෝම්බ බිලියනයක් පුපුරා ගියාක් මෙන් මහා ව්‍යසනයක් සිදුවූ බවත් අන්තර්ජාතික විද්‍යාඥ මණ්ඩලය මේ වන විට ඒකමතිකව පිළිගෙන තිබෙනවා. ඔවුන් කියන්නේ යුකාටාන් අර්ධද්වීපයේ චිෂුලූබ් නගරයට පහළින් ඇති උල්කා ආවාටය එම ග‍්‍රාහක වැටීමෙන් ඇති වූවක් යැයි ඔවුන් විශ්වාස කරන බවයි. ඒ අනුව අල්වාරේ පිය පුතු දෙපළ මීට වසර කීපයකට කලින් ඉදිරිපත් කළ අදහස අද කවුරුත් පිළිගන්නවා. එම ග‍්‍රාහකය පෘථිවියේ ගැටුණු නිසා පෘථිවියේ රජකළ ඩයිනසෝරයන් වඳ වී ගිය බවත් ඒ නිසා ක්ෂීරපායීන් ලොව පුරා ව්‍යාප්ත ගිය බවත් පරිණාමයේ ප‍්‍රතිඵලයක් ලෙස මනුෂ්‍යයන් ලොව ප‍්‍රබලතම සත්ත්ව වර්ගය වූ බවත් විද්‍යාඥයින් 41 දෙනකුගෙන් සමන්විත අන්තර්ජාතික විද්වත් මණ්ඩලය මතක කර දෙනවා.

අහසින් බැලූ විට පමණක් පෙනෙන අභිරහස් චිත‍්‍ර


අහසින් බැලූ විට පමණක් පෙනෙන දෙවියන් වෙනුවෙන් ඇදපු නස්කා චිත‍්‍ර The Nazca Lines: ලෝකයේ නොවිසඳුණු අභිරහස්

අද අප සූදානම් වෙන්නේ අපේ මේ මිහිමව විසින් සඟවා ගෙන ඇති තවත් අභිරහසක් ගැන හෙළි දරව් කරන්නටයි. ඒ තමා දකුණු ඇමෙරිකා මහාද්වීපයේ දී අපට හමුවන නස්කා රේඛා (The Nazca Lines).

මොනවද මේ නස්කා චිත‍්‍ර ?
පේරු දේශයේ අන්දීස් කඳුකරය අසළ කාන්තාර නිම්නයේ පොළොව හාරා සැතපුම් ගණන් දිගට විහිදෙන විශාල රේඛා වගයක් ඇත. මේ රේඛා නිර්මාණය කර ඇත්තේ නස්කා Nazca නමින් හැඳින්වෙන ඈත අතීතයේ විසූ ගෝත‍්‍රිකයන් පිරිසක් බව විශ්වාස කෙරේ. පොළෝ මට්ටමේ සිට බැලූ විට මේවා නිකම්ම නිකම් අගල් කීපයක් පමණයි. ඒත් අහසේ සිට බලද්දී පෙනෙන දේ විස්මය ජනකයි. රේඛාවලින් නිරූපණය වෙන්නේ අති දැවැන්ත අපූරු චිත‍්‍රයි. මෙම චිත‍්‍ර අතරේ සත්ත්ව රූප හා නොයෙක් විධියේ අමුතු සංකේත හා රටාවන් තිබේ. අහසින් යාමට සිහිනයකින්වත් නොසිතූ දුරාතීතයේ මේ පළාතේ ජීවත් වූ මේ නස්කාවරුන් නමින් හැඳින්වෙන ගෝත‍්‍රික ජනයා අහසේ සිට පමණක් පැහැදිලිව දැකිය හැකි එසේත් නැතිනම් අහසට පමණක් හොඳින් පෙනෙන දැවැන්ත සිතුවම් ඇන්දේ කුමක් නිසා? ඔවුන් ඒවා ඇන්දේ කාට පෙනෙන්නද ? දෙවියන්ට පෙනෙන්නද ? කවුරුන්ද මේ දෙවියන් ? නස්කාවරුන් දෙවියන් ලෙස සැලකුවේ පිටසක්වළින් පැමිණි අමුත්තන් පිරිසකටද ?





නස්කා චිත‍්‍ර
නස්කා රේඛාවලින් නිරූපණය කෙරෙන චිත‍්‍ර අතරේ පැණි කුරුල්ලෙක්, දඟර ගැසුණු වල්ගයක් ඇති වඳුරෙක්, කොන්ඩෝර් ගිජුලිහිණියෙක්, බකමූණකුගේ හිසක් ඇති මිනිසකු ද දකින්න ලැබේ. සත්ත්ව රූප නිරූපණය වන සේ මෙම රේඛා මුලින්ම සකස් කරන්න ඇත්තේ කි‍්‍ර.පූ. 200 දී පමණ කාලයේ විය හැකියැයි පුරාවිද්‍යාඥයන් විසින් නිගමනය කර තිබේ. පොළොවේ ඇඳි අනෙක් රටා නිර්මාණය කර ඇත්තේ ඊට අවුරුදු 500 කට පමණ පසුව බව ඔවුන්ගේ මතයයි. ඔවුන් මෙම රේඛා හඳුන්වන්නේ ‘ජියොග්ලිප්්ස්’ Geoglyphs හෙවත් ‘භූ ලේඛන’ Earth Writings යනුවෙනි.



නස්කා නිම්නයේ නස්කාවරු
ඉන්කා, මායා සහ ඇස්ටක් ශිෂ්ටාචාර බිහිවීමට පෙර දේශගවේෂක කොලම්බස් ඇමෙරිකාව සොයා පැමිණීමටත් පෙර පේරු දේශයේ නස්කා හී විසූ නස්කා ගෝත‍්‍රිකයෝ අති දැවැන්ත සිතුවම් නිර්මාණය කළහ. ඔවුහු මේ සිතුවම් නිර්මාණය කළේ පැම්පා ලීමා නගරයේ සිට සැතපුම් 250 ක් දුරින් පිහිටා ඇති කොලරාඩා නමින් හැඳින්වෙන අන්දීස් කඳුකරයට අයත් කාන්තාර තැනිතලා නිම්නයේය. නස්කා රේඛාවල හා බැඳුණු පුදුම දනවන සංසිද්ධියක් නම් මෙම රේඛා කාන්තාරයේ කර්කෂ දේශගුණයෙන් බැටකෑවත් ශත වර්ෂ ගණනකට පසුව අදත් තවමත් ඒවා හොඳින් සුරැකී තිබීමයි.

පිටසක්වළ ජීවීන් වෙනුවෙන් ඇඳි චිත‍්‍ර ?
බොහෝ විද්‍යාඥයන් පවසනුයේ මෙම චිත‍්‍ර දෙවියන් වෙනුවෙන් නිර්මාණය කළ ඒවා බවයි. ස්විට්සර්ලන්ත ජාතික එරික් වොන් ඩැනිකන්, 1970 දී ඔහු විසින් රචිත අතිශය ප‍්‍රසිද්ධියට පත් වූ ‘චැරියට්ස් ඔෆ් ගෝඞ්ස්’ කෘතියෙන් මෙම නස්කා රේඛාවලට වැඩි අවධානයක් ලබා දුන්නේය. ඩැනිකන් කියා සිටියේ මේ චිත‍්‍ර පිටසක්වලින් පැමිණෙන අමුත්තන්ට (පිටසක්වළ ජීවීන්ට) මඟ පෙන්වීම පිණිස නිර්මාණය කළ ඒවා බවයි. ඔවුන්ගේ පිටසක්වළ යානා ගොඩබෑමට මේ සිතුවම් උපකාරී වන්නට ඇති බවයි. ‘චැරියට්ස් ඔෆ් ගෝඞ්ස්’ කෘතිය ජනප‍්‍රිය වීමට මෙම කරුණු ඉවහල් වුනත් විද්‍යාඥයන් තවමත් මේ ගැන බලන්නේ වපර ඇසකිනි.

අහසින් ගිය නස්කාවරු
සමහර විද්‍යාඥයන්ගේ මතය වන්නේ නස්කාවරුන් පුරාණ කාලයේ බැලූන නිර්මාණය කර අහසින් ගිය පිරිසක් බවයි. 1980 වසරේදී විද්‍යාඥයන් පිරිසක් පුරාණ තාක්ෂණය යොදා ගනිමින් නස්කාවරුන් මෙන් උණුසුම් වායු බැලූනයක් සකස්කර ගෙන සාර්ථකව ගුවනින් ගමන් කළහ. එදා ඔවුන් ඔප්පු කර පෙන්වූයේ නස්කාවරුන්ට අහසින් ගොස් මෙම චිත‍්‍ර නැරඹීමේ හැකියාව තිබූ බවයි.


ජර්මානු ගණිතඥ මරීයා රීචේ
දශක ගණනක් තිස්සේ මෙම රේඛාවල සිදු විය හැකි අනතුරුවලින් ඒවා ආරක්ෂා කිරීමට පුරෝගාමී මෙහෙවරක් කළ අයකු ලෙස ජර්මානු ගණිතඥවරියක වූ මරීයා රීචේ සැලකිය හැකිය. ඇය ප‍්‍රකාශ කරනුයේ මේවා පුරාණයේ දී අහසට පමණක් පෙනෙන සේ සැකසූ ‘ගගන දින දර්ශන’ Sky Calender කියාය. රීචේගේ මෙම න්‍යාය තාරකා විද්‍යාඥ ජෙරල්ඞ් හෝකින්ස් විසින් ද සනාථ කර තිබේ.

අභිරහස අභිරහසක්ම තමයි
තාරකා විද්‍යාඥයන් මොනවා කීවත් පුරා විද්‍යාඥයන් ඉදිරිපත් කරන්නේ ඊට වෙනස් මතයකි. ඔවුන් පවසනුයේ මෙම රේඛාවලින් පෙන්නුම් කරන්නේ භූගත ජල සැපයුම් මාර්ග බවයි. සමහරුන් විශ්වාස කරන්නේ මේ රේඛා පුරාණ වන්දනාකරුවන් ගමන් ගත් මාර්ග බවයි. පුරාණයේ මෙම ප‍්‍රදේශයේ ඉදිකර තිබූ අද මුළුමනින්ම අතුරුදන් වී ඇති සිද්ධස්ථාන වන්දනාමාන කිරීමට නොයෙක් දෙසින් බැතිමතුන් පැමිණෙන්න ඇති බව විශ්වාස කෙරේ. එහෙත් මේ රේඛා ඇන්දේ තුමන හේතුවක් හෝ කුමන පදනමක් නිසාද යන්න තවමත් අභිරහසකි.

පිරමීඩ හදන්න අපට කියා දුන්නේ පිටසක්වලින් පැමිණි අමුත්තෝද?


පිරමීඩ හදන්න අපට කියා දුන්නේ පිටසක්වලින් පැමිණි අමුත්තෝද? :

අප දන්නා විධියට නම් ඉපැරණි මිසර ජාතිකයන් පිරමීඩ නිර්මාණය කළේ දෙවියන් උදෙසායි. මිසර වැසියන් දෙවියන් කියලා හැඳින්වූයේ අහසින් පොළොවට සම්ප‍්‍රාප්ත වූ පිරිසක්. ටොන් ගණනක් බර මිලියන 250 කට වඩා යෝධ හුණුගල් කුට්ටිවලින් පිරමීඩ නිර්මාණය කරන්න නම් මිසර වැසියන්ට දියුණු තාක්ෂණයක් තිබෙන්න ඕනෑ. එවැනි දියුණු තාක්ෂණයක් ඔවුන්ට ලැබුණේ කොහොමද? ඒ වගේමයි ප‍්‍රාග් ඓතිහාසික මිනිසා කොහොමද යෝධ ස්ටෝන්හෙන්ජ් ගල් ස්මාරක නිර්මාණය කළේ? කුස්කෝව්හි පැරණි නිර්මාණකරුවන්, පුංචි හෝ හිඩැසක් නොමැතිව එකිනෙකට ඉතා ළඟින් ගල් කුට්ටි සවි කරන්න සමත් වුනේ කොහොමද ? පුරාණ ලෝකයේ අබිරහස් හුඟක් තියෙනවා. ඒවා තේරුම් බේරුම් ගන්න, ඒවා විසඳා ගැනීම පහසු නැහැ. පැරැන්නෝ ස්මාරක හදන්න ගත් ටොන් ගණනක් බර ගල් කුට්ටි ප‍්‍රමාණයෙන් දුම්රිය පෙට්ටියක් තරම්. පේරු රටේ, මෙක්සිකෝවේ හා ඊජිප්තුවේ අපට දකින්න ලැබෙන්නේ මෙවැනි ගල් කුට්ටි තමයි. කොහොමද අපේ පැරැන්නෝ මෙවැනි යෝධ ගල් කුට්ටි ඇදගෙන ගිහිල්ලා ගොඩ ගහලා පිරමීඩ වැනි යෝධ ගොඩනැගිලි නිර්මාණය කළේ? ඇයි ඔවුන් මෙවැනි නිර්මාණ කළේ?




පිරමීඩ හැදුවේ කවුද?
අප වඩාත් හොඳින් දන්න, ලෝකයේ මහා අබිරහසක් ලෙස සැළකෙන්නේ ගීසාහි යෝධ පිරමීඩයයි. ඊජිප්තුනේ දකින්න ලැබෙන පිරමීඩ ති‍්‍රත්වයෙන් විශාලතම පිරමීඩය ලෙස සැළකෙන්නේ ගීසා මහා පිරමීඩයයි. මෙය ඉන්ජිනේරු හාස්කමක් හැටියටයි සැළකෙන්නේ. මේ පිරමීඩය නිර්මාණය කළා කියන්නේ අවුරුදු විසි දෙකක කාලසීමක් ඇතුළතයි. පිරමීඩය හදලා අවසන් කළා යැයි විශ්වාස කෙරෙන්නේ කි‍්‍ර.පූ. 2560 වසරේදීයි. පුරාණ පිටසක්වළ ජීවීන් ගැන අදහස් පළකරන අය නම් කියන්නේ ඒක වෙන්න බැරි දෙයක් කියලයි. මහා පිරමීඩය අවුරුදු 22 ක් ඇතුළතදී හැදුවා වෙන්න බැහැ. එහෙම කළා නම් පිරමීඩය නිර්මාණය කරන්න නම් ගල් කුට්ටි කපා වෙන් කරගන්න, ප‍්‍රවාහණය කරන්න, නිසි ලෙස ගොඩගසන්න සිද්ධ වෙනවා. වරකට එක් ගල්කුට්ටිය බැගින්. සෑම තත්පර 9 කටම වරක්. ඒක කරන්න පුළුවන්ද? අද අපේ තාක්ෂණය හුඟක් දියුණුයි. ඒත් අපේ අති දක්ෂ විද්‍යාඥයන්ට අති නවීන තාක්ෂණය තිබුණත් අවුරුදු 22 කින් මෙවැනි නිර්මාණයක් කරන්න හැකියාවක් නැහැ. දක්ෂ විද්‍යාඥයන් කියනවා අපට මෙවැනි නිර්මාණයක් අවුරුදු 22 කින් කරලා නිමා කරන්න බැහැ කියලා. ගීසාහි මහා පිරමීඩ හැදුවේ කොහොමද කියලා න්‍යායයන් ගණනාවක් ඉදිරිපත් වෙලා තිබෙනවා. පිටසක්වළ ජීවීන්ගේ මැතිහත්වීමක්, ධ්වනි තරංග යොදා ගෙන ගල් කුට්ටි පාවෙන්න සළස්වා එකට ගොඩ ගැසීම, දහස් ගණන් වහලූන්, හා සේවකයන් එක්වී ලීවර, ලී කොටන්, කඹ යොදාගෙන ගල් කුට්ටි ඇදගෙන ගොස් එකලැස් කිරීම ආදිය ඒ න්‍යයායන් අතරට ඇතුළත් වෙලා තිබෙනවා. ඒත් ඇත්ත මොකක්දැයි අපි කිසි කෙනෙක් හරිහැටි දන්නේ නැහැ. එක දෙයක් හොඳින් පැහැදිලියි පිරමීඩ හදලා තිබෙන්නේ ගල් කුට්ටි ඉතාම නිවැරදිව එකිනෙක සම්බන්ධ කරලයි. සියුම් එහාමෙහා වීමක්වත් ඒවායේ දකින්න ලැබෙන්නේ නැහැ. නවීන තාක්ෂණයෙන් පිරි වර්තමාන නිර්මාණකරුවන්ටවත් ඒ වගේ ඉතා නිවැරදිව හා සූක්ෂමව නිර්මාණයක් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ග‍්‍රැනයිට් හා කිරිගරුඩවලින් පිරමීඩවල ඇතුළත හා සොහොන් ගැබ් නිර්මාණය කිරීම තවත් පුදුමයක් වෙනවා. ග‍්‍රැනයිට් හා කිරිගරුඩවලින් පිරමීඩවල ඇතුළත නිර්මාණය කරලා තිබෙන්නේ ඉතාම පිරිසිදුවයි. ඉතාම නිවැරදිවයි. පුරාණ මිසර වැසියන්ට තාක්ෂණයක් නොමැතිව අත්වලින් මෙවැනි නිර්මාණයක් කරන්න ඇත්තටම පුළුවන් වෙන්න ඇතිද? නැත්නම් ඔවුන්ට පිටසක්වළ අමුත්තන්ගේ සහාය ලැබෙන්න ඇතිද? මේ කරුණු හින්දා ඉන්ජිනේරු විස්කමක් ලෙස සැළකෙන ගීසාහි මහා පිරමීඩය, ලෝක පුදුම අතරට එක්වීම පුදුමයක් නොවේ නේද? මිනිසාගේ ඉන්ජිනේරු විස්කම් ගැන කිසිම සැකයක් නැහැ. මා කිසිසේත්ම එය අවතක්සේරු කරන්නේත් නැහැ. ඒත් පුරාණ මිනිසා හැදූ සමහර ස්මාරක හා නිර්මාණ කරද්දී පුරාණ මිනිසාට කාගේ හෝ උදව්වක් මඟ පෙන්වීමක් ලැබිලා තිබෙන්න ඕනෑ. ඔවුන්ට තනිවම එවැනි නිර්මාණයක් කළ හැකි වන්නේ නැහැ. මෙහෙම කියන්නේ පිටසක්වළ ජීවීන් ගැන ගවේෂණ කරන ඇමෙරිකා ජාතික ජේසන් මාටෙල්.

පිටසක්වළ අමුත්තන්ගේ උදව් ලැබුණද?

මිසරයේ සාම්ප‍්‍රදායික කතා පුවත්වල සඳහන් වෙන්නේ පිරමීඩ හැදෙව්වේ සවුරිට් නම් පාරාවෝ විසින් කියලයි. සවුරිට් කියන්නේ හිබෲ ජනයාගේ ඉනොක් නම් තැනැත්තාටයි. ඉනොක් කියලා කියන්නේ පුරාණ තෙස්තමේන්තුවේ සඳහන් වෙන අනාගත වක්තෘවරයෙක්. ඉනොක් ගැන සඳහන වන පතපොත තිබෙනවා. ඒවායේ සඳහන් වෙනවා ඉනොක් පිටසක්වළ අමුත්තන් හමුවුනා කියලා. ‘බුක් ඔෆ් ඉනොක්’ නම් ඒ පොතෙහි ඔහු කියනවා පිටසක්වළ අමුත්තන් ඔහුට උපදෙස් දුන්නා කියලා ගොඩනැගිල්ලක් නිර්මාණය කරන්න වසර දහස් ගණනක් ගියත් විනාශ නොවන අයුරින්. මේ බව කියන්නේ එරික් වොන්ඩැනිකන්. ඒ කියන්නේ පිරමීඩ නිර්මාණය කළේ මනුෂ්‍යයන්. හැබැයි අහසේ සිටින ආරක්ෂකයන්ගේ මඟ පෙන්වීම අනුවයි. අහසේ ආරක්ෂකයන් කියන්නේ දෙවිවරු. මේ දෙවිවරු පිටසක්වළ ජීවීන් නම් පිරමීඩ නිර්මාණයට උපදෙස් දුන්නේ හා තාක්ෂණය දුන්නේ ඔවුන්.

ගීසා පිරමීඩය ඇත්තෙන්ම පුදුමයක් !

ලෝකයේ පුදුම හතෙන් එකක් වන පිරමීඩය පුරාවිද්‍යා අබිරහසක් පමණක් නොවේ, අපූරු හාස්කමක් ද වෙනවා. ඉතිං එය පුදුම හතට ඇතුළත් වීම පුදුමයක් නොවේ නේද? 1877 වසරේදී ආතර් ඇන්තියොලෝජන් ජෝසප් සයිස් පැහැදිලි කර දුන්නා පිරමීඩ ඉදිකර තිබෙන්නේ ලෝකයේ හරි මැද කියලා. ගීසාහි මහා පිරමීඩය වතරක් නොවේ ඒ අසළින් ඉදිකර තිබෙන අනෙක් පිරමීඩ දෙකත් පිහිටන්නේ පෘථිවියේ දිගම අක්ෂංශකය හා දේශාංෂකය හමුවන ස්ථානයේයි. පෘථිවියේ මුළු භූමි ස්කන්ධයේම කේන්ද්‍ර ස්ථානය ලෙස සැළකෙන්නේ ද එතැනයි. ඒ විතරක් නොවේ මාලිමාවක කොන් හතර පිරමීඩයේ කොන් හතරට සමපාත වෙනවා. ඒත් පිරමීඩ හැදුව කාලේ මාලිමා තිබුණේ නැහැ. මාලිමා නිර්මාණය වුණේ ඊට අවුරුදු දහස් ගණනකටත් පසුවයි. පුදුමයි නේද?



දෙවියන්ගේ පුරය: ටියෝටිවකාන්
තවත් පුදුමයක් තමයි ඊජිප්තුවේ විතරක් නොවේ ලෝකයේ අනෙක් රටවලත් පිරමීඩ දකින්න ලැබීම. හුදෙකලා වූ පැසිෆික් සාගර දූපත්වල පිරමීඩ ඉදිකර තිබෙනවා, දකුණු ඇමෙරිකාවේ මෙක්සිකෝවේ පිරමීඩ තිබෙනවා, ඉන්දියාවේ තිබෙනවා. පිරමීඩ සෑදීමේ කලාව ලොව පුරා පැතිරුණු උම්මාදයක් වගෙයි පෙනෙන්නේ. එකිනෙකට වෙනස් ජන සංස්කෘතීන්, කිසිදා එකිනෙකා මුණ නොගැසී, මුහුදින් හා ගොඩබිමින් වෙන්වූ, කොහොමද පිරමීඩ හැදුවේ කියන කාරණාව පුරා විද්‍යාඥයන් පවා මවිතයට පත් කර තිබෙනවා. ස්වරූපයේ වෙනස්කම් තිබුණත් පිරමීඩ ආකෘතිය හැම සංස්කෘතියකටම පොදුයි. මධ්‍යම මෙක්සිකෝවේ වසර 2000 ගණනකට වඩා පැරණි නගරයක නටඹුන් දකින්න ලැබෙනවා. මේ නගරය හැඳින්වෙන්නේ ‘ටියෝටිවකාන්’ කියලයි. එහි අර්ථය දෙයිවන්ගේ පුරවරය යන්නයි. මේ නගරය මැද ඉදිකර තිබෙනවා ‘හිරු’ගේ පිරමීඩය. පුදුමයකට මෙන් මේ පිරමීඩයේ ප‍්‍රමාණය මිසරයේ ගීසා පිරමීඩයේ ප‍්‍රමාණයට හරියටම සමානයි. ඒක අහඹු සිදුවීමක් වෙන්න පුළුවන්ද? නැතිනම් මේ පිරමීඩ දෙකම නිර්මාණය කළේ එකම නිර්මාණකරුවන් පිරිසක් විසින්ද? පුරාණ පිටසක්වළ ජීවීන් ගැන මත පළ කරන විද්‍යාඥයන් මෙන්න මේ විධියේ අදහස් ඉදිරිපත් කරනවා. මිසර හා පුරාණ මෙක්සිකෝ වැසියන්ට පිරමීඩ එදන්න උගන්වන්න ඇත්තේ එකම පිටසක්වළ ජීවීන් පිරිසක් විසින්. එහෙම නැතිනම් පිරමීඩ හැදුවේ ලොව පුරා සංචාරයේ යෙදුණු පුරාණ සංචාරකයන් පිරිසක් විසින්. ඔවුන් වසර ගණනක් පුරා එක් තැනක සිට තවත් තැනකට ගමන් කළා. පුරාවිද්‍යාත්මක ප‍්‍රාතිහාරයක්, නිර්මාණකරුවන්ගේ දස්කම් කියන දේ නම් පිළිගන්න ටිකක් අමාරුයි නේද ?

පුරාණයේ ලෝකය සිව්වරක් විනාශ වෙලා !
ටියෝටිවකාන් නගරයේ ‘හිරු’ගේ පිරමීඩයට අමතරව ‘සඳු’ගේ පිරමීඩය නමින් හැඳින්වෙන පිරමීඩයකුත් තිබෙනවා. පුරාවෘත්තවලට අනුව මේ පිරමීඩ ඉදිකළා කියලා කියන්නේ යෝධයන් පිරිසක්. ඔවුන් මේ පිරමීඩ දෙක හැදුවේ ලෝකය විනාශ වන මොහොතේදීයි. ඇස්ටෙක් සහ මායාවරුගේ විශ්වාසවලට අනුව අතීතයේදී අපේ ලෝකය සිව්වරක් විනාශ වෙලා තිබෙනවා. අයිස්වලින්, ගින්නෙන්, ජලයෙන් තමයි ලෝකය විනාශ වුණු බව මායා හා ඇස්ටෙක් පුරාවෘත්තවල සඳහන් වෙන්නේ. ලෝකය විනාශ වුණු ඒ හැම වතාවකම මිනිසා යළි ලෝකය නිර්මාණය කරලා තිබෙනවා. ටියෝටිවකාන් නගරය නිර්මාණය කර තිබෙන්නේත් එවැනි ලෝක විනාශයක් සිදුවීමෙන් පසුවයි.

පිරමීඩ හැදුවේ දැනුම රැස් කරන්නද?
ඇයි පිරමීඩ වැනි මේ මහ දැවැන්ත නිර්මාණ කළේ? ඒවායේ අරමුණ මොකක්ද? සමහරු නම් තියන්නේ පාරොවෝ ඔවුන්ගේ බලපුළුවන්කාරකම් පෙන්වන්න යෝධ පිරමීඩ හැදුවා කියලයි. හරියට කෞතුකාගාර වගේ. එහෙම නැතිනම් මේ පැරැන්නෝ අපව දාලා යන්න කලින් අපට යමක් ඉතිරි කරලා යන්න හදන්න ඇති. පැරැණි මිසර ලේඛනවල පැහැදිලිවම සඳහන් වෙනවා පිරමීඩ නිර්මාණය කළේ ඇයි කියන කාරණාව. පිරමීඩ හැදුවේ දැනුම ගබඩා කරන්නයි. විශ්වයේ රහස්, විශ්වයේ දැනුම අපට කියන්නයි. මේවා පැරණි මිසර පොත්පතවල සඳහන් වෙනවා. මේ දැනුම අපට කියලා දුන්නේ දෙවියන්. ඒවා නිකම්ම නිකම් මිසර පාරාවන්ගේ සොහොන් ගැබ් නොවේ. විද්‍යාඥයන් හා පුරාවිද්‍යාඥයන් මවිත කිරීමට සමත් වුණේ පිරමීඩ පමණක් නොවේ. තවත් පුරා විද්‍යාත්මක අපූරු නිර්මාණ දහස් ගණනක් අපේ ලොවේ නන්දෙසින් දකින්න ලැබෙනවා. ඒවා ගැන රසබර විස්තරයක් ලගදීම ඉදිරිපත් කරන්න අප සූදානම් වෙනවා.

පාස්කු දූවේ මෝයි පිළිම අබිරහස


පාස්කු දූවේ මෝයි පිළිම අබිරහස : නොවිසඳුණු අබිරහස්

1722 වසරේ පාස්කු ඉරිදා දිනයක ලන්දේසි දේශගවේෂක යාකොබ් රොගෙවීන් Jacob Roggeveen සහ ඔහුගේ දේශගවේෂණ කණ්ඩායම ගිනිකොනදිග පැසිෆික් සාගරයේ පිහිටා ඇති පුංචි දූපතකට ගොඩබැස්සා. වෙරළාසන්නයේ පුංචි පුංචි වේදිකා මත ඉදිකර තිබූ සුවිසල් පිළිම දැකීමෙන් රොගෙවීන් සහ ඔහුගේ පිරිස පුදුමයට පත් වුණා. ඔවුන් පුදුම වුණේ මේ පිළිමවල අපූර්වත්වය නිසාම නොවෙයි. ගස්කොළන්වලින් තොර මේ කුඩා දූපතේ මෙවැනි යෝධ ගල් පිළිම ඉදිකළේ කොහොමදැයි සිතීමෙනුයි. මේ දූපතට මුලින්ම පය තැබූ යුරෝපීය ජාතිකයා රොගෙවීන්ය. දූපත ‘අයිලා ඞී පැස්කුවා’ (ඊස්ටර් අයිලන්ඞ්) හෙවත් ‘පාස්කු දූපත’ යනුවෙන් නම් කළේ ඔහුයි. මේ පාස්කු දූපත අබිරහස්වලින් පිරුණු තැනක්. ‘මෝයි’ Moai යනුවෙන් හැඳින්වෙන මෙම පිළිම නිසා පාස්කු දූපත අද ලොව පුරා ප‍්‍රසිද්ධයි. මෙය යුනෙස්කෝ ආයතනය විසින් ලෝක උරුමයක් World Heritage ලෙසත් නම් කර තිබෙනවා.




”ඒ යෝධ ගල් පිළිම දැකීමෙන් අප පුදුමයෙන් පුදුමයට පත් වුණා” යාකොබ් රොගෙවීන් දූපත සොයා ගැනීමෙන් පසු ලියූ ඔහුගේ වාර්තාවක ලියා තියෙනවා. ”ගස් කොළන් නැති දූපතක එහි සිටින දූපත් වාසීන් යන්ත‍්‍ර නිර්මාණය කිරීමට ශක්තිමත් ලී කොටන් හෝ කඹ හෝ නොමැතිව අඩි 30 ක් තරම් විශාල වූ අධික බරැති මෙම යෝධ පිළිම කෙළින් කළේ කෙසේදැ”යි රොගෙවීන් විමසනවා. පාස්කු දූපත සම්බන්ධව තවමත් පිළිතුරු නොලැබුණු ප‍්‍රශ්න 4 ක් තිබෙනවා. මේ දූපතේ මුල් පදිංචිකරුවන් කවුරුන්ද? මෝයි පිළිම නෙළුවේ කවුරුන්ද? ඒ සඳහා ඔවුන් භාවිත කළ තාක්ෂණය කුමක්ද? මේ නිර්මාණකරුවන්ට සිදු වූයේ කුමක් ද? යනු එම ප‍්‍රශ්න හතරයි. පොලිනීසියානු බස කතා කරන වර්තමාන දූපත්වාසීන් මේ දූපත නම් කරන්නේ ‘රපා නූයී’ කියලයි එහි තේරුම ‘මහා දූපත’ යන්නයි.

මුල් පදිංචිකරුවන් ආවේ පිට සක්වළෙන් ද?
20 වැනි සියවසේදී මේ දූපතට ආ සුප‍්‍රකට නෝර්වීජියානු මානව විද්‍යාඥ තෝර් හියඩාල් Thor Heyerdahl කියන්නේ දූපතේ සිටි පැරැන්නන් පොලිනීෂියාවෙන් පැමිණි අය නොව දකුණු ඇමෙරිකාවෙන් ආ අය කියලයි. ඒත් ඒ බව තවමත් සනාථ වී නැහැ. ස්විස් ජාතික එරික් වොන් ඩැනිකෙන් ලියූ ලෝ සුපතල ‘චැරියට්ස් ඔෆ් ගෝඞ්ස්’ Chariots of Gods කෘතියට අනුව මෙම මෝයි පිළිම ඉදිකරන්නට ඇත්තේ දූපතේ අතරමං වූ පිටසක්වළ ජීවීන් පිරිසක් විසින් බවයි. පසුව ඔවුන් දිවි ගළවා ගෙන මෙලෙවින් නික්ම යන්නට ඇතැයි ඒ පොතෙහි සඳහන් වෙනවා. මීට වසර මිලියන 3 කට පෙර සිදු වූ ගිනිකඳු පිපිරීම් හේතුවෙන් නිර්මාණය වූ මේ දූපත කි‍්‍ර.ව. 900 දී පොලිනීෂියානු දේශගවේෂකයන් විසින් සොයා ගනු ලැබුවා.

මෙය 1888 වසරේ සිට අයිති වෙන්නේ චිලී රාජ්‍යයට වුනත් එය පිහිටා ඇත්තේ එම රාජ්‍යයට සැතපුම් 2,237 ක් දුරින් ගිනිකොනදිග පැසිෆික් සාගරයේයි. මේ දූවේ ප‍්‍රමාණය වර්ග සැතපුම් 63.9 කි. මෝයි පිළිම නෙළන්නට ඇත්තේ අතීතයේ මෙම දූපතේ විසූ ‘රපා නුයී’ නම් ගෝත‍්‍රිකයන් විසින්යැයි විශ්වාස කෙනෙවා. අදටත් මේ දූපතේ උසින් අඩි 1,000ක් පමණ උසැති අකි‍්‍රය ගිනිකඳු තුනක් තිබෙනවා. මේ අකි‍්‍රය යමහල් කුහරවල විල් නිර්මාණය වී තියෙනවා. පාස්කු දිවයිනේ ඇත්තේ සෞම්‍ය දේශගුණයකි. ඉදහිට වැසි ලැබෙන අතර දූපතේ ගංගා ඇළදොළ අඩුය. දූපත්වාසීන් ජලය ලබා ගන්නේ උල්පත්, ළිං සහ විල් ආදියෙනි. දූපතේ විශාල ගස් දකින්න නොලැබේ. ඈතට විහිදී යන විශාල තණබිම්වල බැටළුවන් ඇති කිරීමට යොදා ගෙන තියෙනවා. අද මේ දූපතේ පදිංචිව සිටින්නේ පොලිනීසියානු ජන වර්ගයට අයත් ජනයායි. ඔවුන්ගේ පදිංචියත් හංගා රෝහා නම් ප‍්‍රදේශයට පමණක් සීමා වී තියෙනවා. දූපත් වැසියන් කතා කරන්නේ ටහීටි උප භාෂාවක්. ශාන්තිකර සාගරයේ අනෙක් දූපත් වැසියන්ට මෙන්ම මොවුන්ගේ ජීවිතවලටත් නැටුම් ගැයුම් හා සංගීතය එක් වී තියනවා. මුදල්වලට ආශාවක් නොමැති මේ දූපත් වැසියන් ඔවුන් විසින් නිර්මාණය කරන ලී කැටයම්, සැරයටි ආදිය වරින් වර චිලී රාජ්‍යයේ සිට පැමිණෙන නැව්වලට දී ඔවුන්ට අවශ්‍ය බඩුබාහිරාදියවලට හුවමාරු කර ගන්නවා. තිරිඟුපිටි, සීනි, රෙදිපිළි සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ආදිය ලැබෙන්නේත් චිලී රටෙන්.



පුරාවිද්‍යාත්මක ස්ථානයක් හැටියටත් පාස්කු දූපත හුඟක් ප‍්‍රසිද්ධයි. ඈත අතීතයේ ජීවත් වූ ඉතා උසස් ශිෂ්ටාචාරයක බලමහිමය පෙන්වීමට අද ඉතිරිව ඇත්තේ මෙම නිසල ගල් පිළිම පමණයි. ඒවා 600 ක් විතර තිබෙනවා. ඒවා උසින් අඩි 3 සිට 66 දක්වා වෙනවා. විශාල ම එකක බර සාමාන්‍යයෙන් ටොන් 80ක් පමණ වෙනවා. නෝර්වේජියානු මානව විද්‍යාඥ තෝර් හියඩාල් ප‍්‍රමුඛ ගවේෂණ කණ්ඩායම දූපතේ පුරාවස්තු සහ ඉතිහාසය ගැන කරුණු කාරණා සොයා බලා පැවැසුවේ මෙම ප‍්‍රතිමා ඉදිකර තිබෙන්නේ රානෝ රාරාකු නම් අකි‍්‍රය වූ ගිනිකන්දේ පාෂාණවලින් බවයි. රානෝ රාරාකු ගිනි කන්ද ඇතුළේ සහ ඒ අවට බාගෙට ඉදිකළ පිළිම ද හමුවී තියෙනවා. දිවයින වටා ‘අහු’ නමින් හැඳින්වෙන විශේෂ වේදිකා මත මේ ඇතැම් ප‍්‍රතිමා තබා තිබෙනවා. ‘අහු’ යනු ඉපැරණි දූපත් වැසියන්ගේ පුද පූජා පැවැත්වූ ස්ථාන ලෙසයි හියඩාල් හඳුන්වන්නේ. ඒ විතරක් නොවේ මේ මෝයි පිළිම නිර්මාණය කරන්නට ඇත්තේ ඉපැරණි දූපත් වැසියන්ගේ මුතුන් මිත්තන් සිහි වීම පිණිස යැයි විශ්වාස කරෙනවා. නමුත් මේ මුතුන් මිත්තන් කවුරුන්දැයි හරියටම කියන්න තවමත් හැකියාවක් ලැබිලා නැහැ.

පාස්කු දූවේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති අරුම පුදුම ලෙන් කීපයක් හමුවෙනවා. පරම්පරා කීපයක් තිස්සේ එක් එක් පවුල සතුවූ මේ ලෙන් තුළ මුතුන්මිත්තන්ගේ ඇටසැකිලි, ගල් හා ලී කැටයම් තිබී සොයා ගනු ලැබුවා. ලෙන්වලින් හමුවුණු කෞතුක වස්තු අතර දිවයිනේ ආදිවාසීන්ගේ ‘රොන්ගෝ රොන්ගෝ’ නමින් හැඳින්වෙන චිත‍්‍රාක්ෂර කෙටූ ලී පුවරු විශේෂයක් තියෙනවා. ශාන්තිකර සාගරයේ ‘ ඕෂේනියා’ කලාපයෙන් මෙතෙක් හමුවුණු කෞතුක වස්තූ අතරේ පුරාණ ලේඛන ක‍්‍රමයකට සාක්ෂි වශයෙන් ඉතිරිවෙලා ඇත්තේ මේ ‘රොන්ගෝ රොන්ගෝ’ පුවරු පමණයි. මෙම පුවරුවලින් කියැවෙන්නේ කුමක්දැයි වටහා ගන්න හෝ ඒවා කියවීමට මේ දක්වා හැකිවෙලා නැහැ. මෝයි පිළිම මෙන්ම ඒ චිත‍්‍රාක්ෂරත් ලොකු අබිරහසක්. මේ චිත‍්‍රාක්ෂර ඉපැරණි ඉන්දියානු, මිසර හා කී‍්‍රට අක්ෂරවලට සමානකම් දක්වන බව පුරා විද්‍යාඥයන්ගේ මතයයි. ඉන්කා සහ ටහීටි කලා නිර්මාණවල සමානකම් මෝයි පිළිමවල දකින්න ලැබෙන බවත් ඔවුන් කියනවා. නමුත් පාස්කු දිවයිනේ අතීත විස්තර හෙළි කරගන්න තවමත් හැකියාව ලැබී නැහැ.

රතු ගල් තොප්පි පැලඳුවේ කෙසේද?
පාස්කු දූවේ දැන් විශාල ගස් නැතත් අතීතයේ දී මේ දූපත තල් ගස් විශේෂයකින් පිරී පවතින්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. මේ ඒ කාලයේ හැටියට ලෝකයේ උසම ගස් අතරට වැටුණු මෙම තල් ගසක් හොඳින් වැඩුණු විට උස අඩි 60ක් පමණ වෙතැයි සඳහන් වෙනවා. එවැනි ගසක් වට අඩි 7ක් පමණ වන්නට ඇති. තවමත් අබිරහසක්ව පවතින මේ දූපතේ ආදීමයන් මේ ගස්වල කඳන් ඔරු තැනීමට යොදා ගෙන්නට ඇති. මේ ගස්වල කෙඳිවලින් කඹ අඹරා ගන්නට ඇති. මේ මෝයි පිළිම කෙළින් කරන්නත් මේ ගස්වල කඳන් හා කඹ යොදා ගන්නට ඇති. අද මේ ගස් එකක්වත් පාස්කු දූවේ දක්නට නැහැ. ගස් වඳවී යන්නට ඇත්තේ මේ තරම් විශාල මෝයි පිළිම ප‍්‍රමාණයක් තැනීම නිසා වන්නට ඇති.



පාස්කු දිවයිනේ යෝධ මෝයි ගල් පිළිමවල හිස් මත රතු පැහැ ගල් තොප්පි විශේෂයක් දැක ගන්න පුළුවන්. ඉතා හොඳින් කැපී පෙනෙන මේ ගල් තොප්පි නිර්මාණය කර තියෙන්නේ ගල් පිළිමත් සමඟ නොවෙයි. ඒවා නිර්මාණය කිරීමට යොදා ගෙන ඇත්තේ පිළිම නෙළීමට යොදා ගත් පාෂාණ වර්ගයත් නොවෙයි. මේ සුවිශේෂී රතුපැහැති තොප්පි නිර්මාණය කළ අයුරු සහ ඒවා මෝයි පිළිමවල හිස් මත පැලඳවූ අයුරු ගැන බි‍්‍රතාන්‍ය පුරාවිද්‍යාඥ කණ්ඩායමක් පසුගිය දිනෙක ගවේෂණයක් කළා. මේ අනුව ඉපැරණි අබිරහසක සුලමුල හෙළිවී තියෙනවා. ඒත් මේ අබිරහස මුළුමනින්ම විසඳීමට ඔවුන්ට හැකිවෙලා නැහැ. යම්තාක් දුරකට හෝ මේ අබිරහසේ සුලමුල හෙළි කර ගන්න ඒ පුරාවිද්‍යාඥ පිරිසට හැකිවුණේ මේ පුංචි දූපතේ කුඩා මාර්ගයක් සොයා ගැනීමත් සමඟයි.

මේ මාර්ගය දිගේ ගවේෂණය කළ පුරාවිද්‍යාඥයන්ට සැඟවුණු පුරාණ ගිනිකඳු කුහරයක් සොයා ගන්න හැකිවුණා. මේ කුහරයේ තිබුණා ගල්වළක්. මෝයි පිළිමවලට යෙදූ රතු තොප්පි නිර්මාණය කර තිබෙන්නේ මේ ගල්වළේදීයි. මෙම ගල්වලේදී නිර්මාණය කළ රතු ගල් තොප්පි ලී කොටන් මත තබාගෙන හෝ තල්ලූ කරගෙන පිළිම තිබෙන තැනට රැගෙන එන්න ඇතැයි ලන්ඩන් නුවරින් ගිය මැන්චෙස්ටර් සහ යුනිවර්සිටි විද්‍යාල පුරාවිද්‍යාඥ කණ්ඩායම අනුමාන කරනවා.

පුරාවිද්‍යාඥයන් මේ ටොන් ගණනක් බර ගල් තොප්පි පරීක්ෂා කළා. ඒවා සාදා ඇත්තේ රතු යබොර (යකඩ සහිත පස්) සහ ඝනීභවනය වූ ලාවා පාෂාණවලිනුයි. පොලිනීසියානුවන් මේ තොප්පි වෙරළාසන්නයේ පූජා උත්සව සඳහා ඉදිකළ වේදිකාවල ඇති මෝයි පිළිමවල සිරස් මත තැන්පත් කළේ වසර 500 ක් 750 ක් තරම් ඈත අතීතයේදීයි. තවමත් විසඳීමට නොහැකි ලොකුම ප‍්‍රහේළිකාව මේ තොප්පි ඔසවා පිළිමවල හිස්මත තැබුවේ කෙසේදැයි යන්නයි.

බින්ලාඩන් මරා දැමූ ජෙරෝනිමෝ මෙහෙයුම

බින්ලාඩන් මරා දැමූ ජෙරෝනිමෝ මෙහෙයුම


* බින්ලාඩන්ගේ රැකවළුන් එල්ල කළ ප්‍රහාරයෙන්
බ්ලැක්‌හෝක්‌ හෙළිකොප්ටරය කඩා වැටේ.

* බින්ලාඩන් සිටි නිවසට රාත්තල් 2000 ක
බෝම්බ දුසිමක්‌ දැමීමේ මුල් සැලසුම අත්හිටුවයි.

* පාවාදීම කළේ ගුන්තනාමෝ බේ සිර කඳවුරේ සිටි බින්ලාඩන්ගේ සගයන් දෙදෙනක්‌.

* මෙහෙයුම ගැන පකිස්‌තානයටවත් හෙළි කළේ නැහැ
- ඇමරිකානු නිලධාරියෙක්‌ පවසයි

දිනය - මැයි 1 වැනිදා රාත්‍රි 10.00

ස්‌ථානය - පකිස්‌තානයේ ඉස්‌ලාම්බාද් අගනුවර සිට චීනය වෙත සම්බන්ධවන කුලාතුලා අධිවේගී මාර්ගයේ පිහිටි ඇබ්බොට්‌මාබාඩ් නගරය.

මෙහෙයුම - ඔපරේෂන් ජෙරනිමෝ


 ඉරිදා රාත්‍රි 10.00ට පමණ පකිස්‌තානයේ ඇබ්බොට්‌මාබාඩ් නගරයේ විදුලිබලය මුළුමනින්ම විසන්ධි විය. ඒ සමඟම හෙළිකොප්ටර් යානාවල ශබ්දයක්‌ සහ පිපිරීම් හඬවල් කීපයක ශබ්දය නගර වැසියන්ට ඇසන්නට ලැබිණි. මේ ඇබ්බොට්‌මාබාඩ් නගරය සමීපයේ පැවැතියේ පකිස්‌තානු හමුදා ඇකඩමියයි. මේ දැඩි අඳුර මැද ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානය අතිශයින්ම රහසිගත මෙහෙයුමක්‌ දියත්කර තිබුණි. ඇමරිකානු නාවික හමුදාවේ සිල් බලකායේ 6 වැනි කණ්‌ඩායමට අයත් ප්‍රහාරක භටයන් විසි හතර දෙනෙකු සම්බන්ධවූ මේ මෙහෙයුමට ඔපරේෂන් ජෙරෝනිමෝ යයි නම්කර තිබිණි.

ප්‍රහාරක ඒකකයට සම්බන්ධ එක්‌ සිල් භටයකුගේ හිස්‌වැසුමේ වීඩියෝ කැමරාවක්‌ විය. මේ වීඩියෝ කැමරාව ඇමරිකානු හමුදා චන්ද්‍රිකාවකට සම්බන්ධ කර තිබුණි. ජෙරොනිමෝ මෙහෙයුම ධවල මන්දිරයේ සිට බලාගැනීමට ඇමරිකානු ජනාධිපති බැරක්‌ ඔබාමා ඇතුළු ආරක්‌ෂක බලධාරීන්ට හැකිවිය.

ජෙරෝනිමා මෙහෙයුම වූයේ ලොව අංක එකේ ත්‍රස්‌තවාදියා වූ ඔසාමා බින්ලාඩන්ව විනාශ කිරීමයි.

ඒ සඳහා බින්ලාඩන්ව පාවා දුන්නේ කියුබාවේ පිහිටි ගුන්න්තනාමෝබේ ඇමරිකානු සිර කඳවුරේ සිටි කාලිද් ෂික්‌ මොහමඩ්.

දරුණු වධහිංසාවලට ලක්‌වීමෙන් පසු ඔහු සහ තවත් අල්කයිදා ත්‍රස්‌තවාදියකුවූ අබුපරා- විසින් ඔසමා බින්ලාඩන්ගේ පෞද්ගලික ප්‍රවාහකයා කවුදැයි හෙළිකෙරුණි.


පකිස්‌තානයේ එක්‌තරා රහසිගත ස්‌ථානයකදී බින්ලාඩන්ගේ පෞද්ගලික සහකරු හෙවත් ඔහුට තොරතුරු ගෙනයන තැනැත්තා අත්අඩංගුවඩ ගත් සී. අයි. ඒ. විමර්ශකයන් බින්ලාඩන් සිටින්නේ ඇබ්බොට්‌මාබාඩ් නගරයේ සුවිසල් මැඳුරක යෑයි සොයා ගත්හ.

එහෙත් ඇමරිකානු සී. අයි.ඒ සංවිධානය මුහුණ පෑ බරපතල ප්‍රශ්නය වූයේ ඉතාමත් ජනප්‍රියතම සංචාරක පාරාදීසයක්‌වූ ඇබ්බොට්‌මාබාඩ් නගරය පකිස්‌තානු හමුදාවේ නිලධාරීන්ගේ නිවාඩු නිකේතනයන් වීමය.

ජෙරෝනිමෝ මෙහෙයුම දියත් කිරීමට සතියකට පෙර ඔසාමා බින්ලාඩන් සැඟවී සිටින බවට තහවුරු වූ මේ නගරයේ චන්ද්‍රිකා ඡායාරූප ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානය විසින් බරක්‌ ඔබාමාට සපයා තිබුණි.

පකිස්‌තාන් වේලාවෙන් රාත්‍රි 10.31 ට ඇමරිකානු බ්ලැන්හොzක්‌ ප්‍රහාරක හෙළිකොප්ටර් දෙකකින් නේවිසීsල් - 6 හෙවත් නාවික සීල් බලකායේ කණ්‌ඩායම් ඔසාමා බින්ලාඩන්ගේ සුවිසල් මැදුර අසලට ගොඩබසිනු ලැබූහ.

මැනවින් පුහුණුව ලත් මේ සීල් භටයන් රාත්‍රිය විනිවිද පෙනෙන නයිට්‌විෂන් උපාංගවලින්ද යුක්‌ත වේ.

ජෙරෝනිමෝ මෙහෙයුමට ගතවූයේ විdනඩි 40 කි. සිල් භටයන් ඔසාමා සිටි ස්‌ථානයට කඩාවැදීමත් සමඟම ඔහු එක්‌ අතකින් ඒ. කේ. 47 කාලෂිනකෝව් ප්‍රහාරක රයිපලයක්‌ද අනිත් අතින් මිනිස්‌ පලිහ වශයෙන් සිය එක්‌ බිරියක්‌ද අල්ලාගෙන ඇගෙන් ආවරණය විය. එහෙත් සීල් භටයන් විසින් බින්ලාඩන්ට හා ඔහුගේ බිරියද එක්‌ පුත්‍රයකු හා තවත් දෙනකුටද වෙඩි තබා මරා දැමිණ.

ඔසාමා බින්ලාඩන් හා ඔහුගේ පවුලේ අය ඝාතනය වන අයුරු ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමා රාජ්‍ය ලේකම් හිලරි ක්‌ලින්ටන් ඇතුළු ඇමරිකානු සී. අයි. ඒ. හා ආරක්‌ෂක නිලධාරීහු සියෑසින් දැක ගත්හ.



මේ සමගම ඔසාමා බින්ලාඩන්ගේ සුවිසල් මැදුරේ සිටි සිල් බලකා ප්‍රධානියාගෙන් බරක්‌ ඔබාමා වෙත පණිවිඩයක්‌ ලැබිණි. එහි දැක්‌වූයේ ජෙරෝනිමෝ සටනේදී මියගියා යනුවෙනි.

ඔසාමා බින් ලාඩන්ව ඝාතනය වන අවස්‌ථාවේ ඇමරිකානු කාල්වින්සන් නැමති ගුවන් යානා ප්‍රවාහනය කරන දැවැන්ත නෞකාව අරාබි මුහුදේ නතරකර තිබිණි.

මෙහෙයුම නිමාවී විනාඩි පනහකින් පසු ඔසාමාගේ සිරුර නහවා රෙදිවලින් ඔතා උතුරු අරාබි මුහුද වෙත දැමීමට කාල්වින්සන් නැවේ විශේෂ ඒකකයන් විසින් ක්‍රියාකෙරිණි.


එහෙත් සිරුර මුහුදට දමනු ලැබුවේ කුමන ස්‌ථානයකදැයි ඇමෙරිකානු නිලධාරීහු හෙළිකළේ නැත.

මෙහිදී ප්‍රශ්න කීපයක්‌ මතුවිය. ඒ ඔසාමා බින්ලාඩන්ගේ සිරුර ආරක්‌ෂා කර එය පෙන්නුම් කිරීමට ඇමරිකානු බලධාරීන් ක්‍රියා නොකළේ මන්ද යන්නයි.

අල්කයිදා නායකයාගේ සිරුර භූමදාන කිරීම සඳහා භාරගැනීමද සවුදි අරාබියාව විසින් ප්‍රතික්‌ෂේප කර ඇතැයි හෙළිවේ.

ඇමරිකානු බලධාරීහු බින්ලාඩන්ගේ සිරුර පැය 24 ක්‌ තුළ තබා නොගෙන කඩිමුඩියේ එය මුහුදට දැමුවේ මන්ද යන්නද දැඩි ලෙස සැකයට තුඩුදී ඇති සිද්ධියකි.

මේ සම්බන්ධයෙන් ඩුබාහි හි ඉහළ පෙළේ ආගමික නායකයකුවූ මොහමද් අල් කුමාබායි පැවසුවේ විශේෂවූ අවස්‌ථාවල හැර මුස්‌ලිම්වරුන්ව මුහුදේ භූමදාන කිරීමට අවසරක්‌ නැති බවයි.

මේ අතර බින්ලාඩන්ව විනාශ කිරීමේ මෙහෙයුම පකිස්‌තාන් බුද්ධි සේවාව දැන නොසිටියේද යන්න පකිස්‌තාන් ජනතාවටද ප්‍රශ්නයක්‌ වී ඇත.

බ්ලැත්හෝර්ක්‌ ප්‍රහාරක හෙලිකොප්ටර් දෙකට අමතරව චීනුක්‌ වර්ගයේ හෙලිකොප්ටර් දෙකක්‌ද මෙහෙයුමට සම්බන්ද විය.

අප්‍රියෙල් 7 සහ 17 යන දිනවල ඇප්ගනිස්‌ථානයේ බාගම් ගුවන් තොටුපළේදී බින්ලාඩන්ගේ සුවිසල් මැදුරට සමාන මැදුරක ආකෘතියක්‌ ඉදිවිය.

ඇමරිකානු නාවික සීල් භටයන් මේ සථානයේදී ඉදිරියේදී ක්‍රියාත්මක කිරීඹට යන මෙහෙයුම සම්බන්ධව පුහුණුව ලබා තිබේ.

මේ පසුබිම මැද ඔපරේෂන් ජෙරෝනිමෝ මෙහෙයුම ආරම්භ විය. මුල්ම බ්ලැක්‌හෝර්ක්‌ (ඊක්‌ජන ය්අන) හෙළිකොප්ටර් බින්ලාඩන්ගේ සුවිසල් මැදුර වෙත පහත් වෙද්දී මැදුරේ පියස්‌සේ සිටි ආරක්‌ෂකයන් විසින් ඊට රොකට්‌ විදිනයක්‌ මගින් ප්‍රහාර එල්ල කර ඇත. ඒ සමඟම එම ප්‍රහාරක හෙළිකොප්ටරය සුවිසල් මැදුර අසලට කඩා වැඩුණි. එහෙත් එහි සිටි විශේෂ බලකා භටයන් හා නියමුවන් දිවි ගවා ගත්හ.

හෙළිකොප්ටරයක්‌ කඩාවැටුනු ශබ්දය ශ්‍රවණයවීමත් සමඟ අවට ප්‍රදේශවාසීහු එම ස්‌ථානය වෙත පැමිණෙද්දී පෂ්තෝ භාෂාව කතාකරන සී අයි ඒ ඒජන්තවරුන් ඔවුන්ට නිවාසවලට ගොස්‌ දොරවල් වසා ගන්නා ලෙස නියම කර ඇත.

ඩොලර් මිලියනයක්‌ වටිනා සුවිසල් මැදුරක සුව පහසු ලෙස සිටි බින්ලාඩන්ව විනාශ කිරීම සඳහා ඇමෙරිකානු ප්‍රහාරක හෙලිකොප්ටර් හතරක්‌ පකිස්‌තානය වෙත එද්දී පකිස්‌තානයේ අයි. එස්‌. අයි. (ෂගීගෂ) බුද්ධි සේවාව දැනසිටියේද යන්න බරපතල ප්‍රශ්නයකි.


මෙම ප්‍රහාරයෙන් පසු බරපතල තුවාල ලබා සිටි බින්ලාඩන්ගේ දියණිය සවියා ඇතුළු දරුවන් හතර දෙනෙක්‌ හා කාන්තාවන් දෙදෙනෙක්‌ද ගිලන් රියකින් ගෙන ගොස්‌ ඇත.

ඔසාමා බින්ලාඩන් ජීවත්වූ මේ සුවිසල් මැදුරේ දුරකකථන හෝ අන්තර්ජාල පහසුකම් තිබුණේ නැත.

එහෙත් ඔහුට සියලු තොරතුරු ලැබෙන මාර්ග තිබුණු බව වාර්තා විය. පකිස්‌තාන් මාධ්‍ය දක්‌වන්නේ ඇමරිකානු ප්‍රහාරක හෙළිකොප්ටරඑ ඇබ්බොට්‌මාබාඩ් නගරයට ඒමට පෙර පකිස්‌තාන් ගුවන් රෛ¨ඩාර් පද්ධතිය අක්‍රීය කිරීමට ඇමෙරිකානුවන් ක්‍රියාකර ඇති බවයි.

මෙය සනාථවන්නේ ඇමරිකානු නිලධාරියකු කළ ප්‍රකාශයකිනි. "අප පකිස්‌ථානය සංගමයත් මේ මෙහෙයුම සම්බන්ධ බුද්ධි තොරතුරු හුවමාරුකරගන්නේ නැහැ. යයි ඔහු කියා සිටියේය.

මෙහිදී ඇමරිකානු මෙහෙයුම ගැන පකිස්‌තානයේ ජනාධිපති අල් සර්දාරි පවා දැන නොසිටි බව වාර්තා වේ. මේ අතර පකිස්‌තාන් යුද හමුදා ඇකඩමිය වූ කාකුල් ඇකඩමියට යාර 800 ක්‌ ඈතින් බින්ලාඩන් සුවිසල් මැදුරක සිටින බවට පකිස්‌තාන් බුද්ධි සේවාව නොදන සිටි බවට විශ්වාස කළ හැකිද?

ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානය විසින් ජෙරෝනිමෝ මෙහෙයුම දියත් කිරීඹට පෙර මාර්තු 14 වැනිදා ජනාධිපති බැරැක්‌ ඔබාමාගේ ප්‍රධානත්වයෙන් රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා තිබේ.

මේ සාකච්ඡාවට සී. අයි. ඒ. නිලධාරීන්ද සම්බන්ධවිය. මෙහිදී ඔබාමා බින්ලාඩන් සිටින සුවිසල් මැදුරට බී 0 2 ස්‌ටෙල්ත් හෙවත් රේඩාරයට අසු නොවන යානා දෙකක්‌ ලවා රාත්තල් 2000 ක්‌ බරැති බෝම්බ දුසිමක්‌ හෙළීමට තීරණය විය. එහෙත් ඇමරිකානු හමුදා නිලධාරීහු පැවැසුවේ එවන් බෝම්බ ප්‍රහාරයකින් මුළු නිවස පමණක්‌ නොව ඔසාමා බින්ලාඩන් සමතලාවන බවත් අවට සිටින සිවිල් වැසියන් රැසක්‌ද ජීවිතක්‍ෂයට පත්වන බවයි. මේ නිසා එකී මෙහෙයුම අත්හිටුවන්නැයි බැරැක්‌ ඔබාමා නියෝග කරනු ලැබීය.

මෙම අතිශයින්ම රහසිගත මෙහෙයුමට සම්බන්ධවී කැඩාවැටුන බ්ලැක්‌හෝන් හෙළිකොප්ටරයේ සුන්බුන් පවා මොහොතක්‌ තුළ ගෙන යැමට ඇමරිකානු භටයන් ක්‍රියාකර ඇත.

මෙයට වසර ගණනකට පෙර සෝමාලියාවේදී ආර්. පී. ජී. ප්‍රහාරයකින් එවන් හෙළිකොප්ටරයක්‌ කඩාවැටුණි. මෙවැනි තත්ත්වයකට පකිස්‌තානයේදීද මුහුණපෑමට සිදුවනු ඇතැයි ඇමරිකානු යුධ උපදේශකයන් අතර බියක්‌ පැවතුනි.

මේ අතර බින්ලාඩන්ගේ යයි දන්වමින් පකිස්‌තානයේ රූපවාහිනී සේවාවන් නිකුත් කළ ඡායාරූපයද ව්‍යාජ යයි අනාවරණය විය.

අපි කිසිම ඡායාරූපයක්‌ ප්‍රකාශයට පත්කරන්නේ නැහැ යෑයි ඇමරිකානු නිලධාරීහු කියා සිටියෝය. එසේ නම් බින්ලාඩන් යයි තහවුරු වූයේ කෙසේද?

වසර කීපයකට පෙර ඔසාමා බින්ලාඩන්ගේ සොහොයුරියක්‌ ඇමරිකාවේ බොස්‌ටන් රෝහල තුළ මොළේ පිළිකාවකින් මිය ගියාය. ඇමරිකානු එµa. බී අයි. පොලිසිය අධිකරණ නියෝගයක්‌ මත ඇගේ මොළය ලබාගෙන එය ප්‍රයෝජනයට සිය රසායනාගාරයේ තැන්පත්කර තිබිණි. ඇගේ සිරුරෙන් ලබාගත් "ලේ පටල" හා බින්ලාඩන්ගේ ලේ පටල සැසදීමෙන් සිරුර බින්ලාඩන්ගේ යයි සනාථ විය.

ඇමරිකානු බුද්ධි සේවා නිලධාරීහු බින්ලාඩන්ගේ එක්‌ බිරියකද ගෙනවුත් සිරුර හඳුනා ගැනීමට ක්‍රියාකර තිබූ බව හෙලිවේ "ඔපරේෂන් ජෙරෝනිමෝ" මෙහෙයුම සම්බන්ධව ඇමරිකාව අනුගමනය කළ පිළිවෙත මෙයයි. ඇමරිකාවේ ආරක්‌ෂාවට හා සිවිල් ජනතාවට තර්ජනයක්‌ එල්ල කළ ඕනෑම ත්‍රස්‌තවාදියකු ඕනෑම රටකට ගොස්‌ ඝාතනය කරන බවයි.

ශී‍්‍ර ලංකාවේ සිට ලොව හෙල්ලූ විද්‍යාඥයා


'ශී‍්‍ර ලංකාව දූපතක් වුණාට පුංචි විශ්වයක්!' - ශී‍්‍ර ලංකාවේ සිට ලොව හෙල්ලූ විද්‍යාඥයා, ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක්

ලෝකයේ ජීවත්වීමට හොඳම රට ශී‍්‍ර ලංකාව කියල අපේ මේ පුංචි රට තෝරා ගෙන අවුරුදු 51ක් ම අපේ රටේ ජීවත්වෙමින් අපේ රටට කීර්තියක් ගෙන දුන් ලෝකයේ විසූ කීර්තිමත් ම විද්‍යාඥයා, විද්‍යා ප‍්‍රබන්ධකයා, ජනපි‍්‍රය විද්‍යා ලේඛකයා, විද්‍යා න්‍යායාචාර්යවරයා, විද්‍යා දේශකයා තමා ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක්. අපේ ම රටේ ඉපදිලා, අපේ ම රටේ, අපේ ම සල්ලිවලින් ඉගෙන ගෙන, ‘මේ රටේ ජීවත්වෙන්න බැහැ’යි කියලා රට ඇරලා යන උගත්තු ඉන්න මේ කාලේ එතුමා අපට දුන්නේ මහඟු ආදර්ශයක්.



‘ලංකාව කියන්නෙ දූපතක් වුණාට පුංචි විශ්වයක්. මෙය දර්ශනීය තැන්වලින්, විවිධ දේශගුණයන් වගේ ම විවිධ සංස්කෘතීන්ගෙන් පිරිලා. ඔබ මේ රටට ගේන දේ අනුවයි, ඔබට රටෙන් යමක් ලැබෙන්නෙ. කොළඹ නගරයේ බටහිර පන්නයට හැඩ ගැහුණු, දූවිලිවලින් පිරුණු වීදිවලින් පිටට නොගිහින් හෝටලයට වෙලා හිටියොත් එක සතියකින් ම මේ රට ඔබට එපා වේවි. ඒත් ඔබ ජනයා ගැන, ඉතිහාසය ගැන, කලාවන් ගැන, සොබා දහම ගැන, ඒ කියන්නෙ ජීවිතයට වටින ඒ වගේ දේවල් ගැන උනන්දු නම්, ඔබටත් මේ රටේදි, මේ මට වගේ ම, සුන්දර දේ හමුවේවි. ඒවා අත්විඳින්නට ඔබේ මුළු ජීවිත කාලයමත් මදි බව ඔබට වැටහේවි.’ එතුමා බි‍්‍රතාන්‍ය ගුවන් සේවාවේ ප‍්‍රකාශනයකට ශී‍්‍ර ලංකාව ගැන ලිව්වෙ එහෙමයි.

ශී‍්‍ර ලංකාව තරම් ලස්සන රටක් ලෝකයේ තවත් නෑ

‘සමහර විට ලංකාවෙ ඇති ආකර්ෂණයන් ඉක්මවා යන දේවල් ලෝකයේ එක එක රටවල ඇති. පැරණි නටබුන් අතරින් කාම්බෝජයේ ඒවා මීට වඩා ආකර්ෂණීය ඇති. ටහිටි දූපතේ මීට වඩා ලස්සන වෙරළවල් ඇති. බාලි දූපතේ මීට වඩා දර්ශනීය තැන් ඇති. (ඒත් මට නම් සැකයි). තායිලන්තයේ මීට වඩා සුහදශීලී ජනයා ඇති. ඒත් මා නම් හිතන්නෙ නෑ මේ හැම ආකර්ෂණයක් ම ඇති වෙනත් රටක් ඇතියි කියලා මේ ශී‍්‍ර ලංකාව හැර.’ එතුමා මෙහෙම ලිව්වෙ 1970 දි ශී‍්‍ර ලංකාව ගැන ලියවුණු තවත් පොතකටයි.



රොබට් නොක්ස් ඇරුනාම අපේ රට, අපේ මිනිස්සු ගැන වැඩියෙන් ම වර්ණනා කරපු විදේශිකයා තමයි, ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක්. එතුමා ලියපු හැම පොතක ම ශී‍්‍ර ලංකාව ගැන මොන විදියෙ හරි සඳහනක් ඇතුළත් වුණා. ඒවගේ ම එතුමා ශී‍්‍ර ලංකාව පසුබිම් කර ගෙන විද්‍යා ප‍්‍රබන්ධ කීපයකුත් ලිව්වා. එංගලන්තයේ ඉපදී හැදී වැඩුණත් ශී‍්‍ර ලංකාව වාස භූමිය කර ගෙන වසර 51ක් ම මෙහි ජීවත්වෙමින් ශී‍්‍ර ලංකාවට ඉමහත් කීර්තියක් ගෙනා ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක් තරම් අපේ මව්බිමට සේවය කළ, ආදරය කළ, වෙනත් අයකු ඇතැයි කිව නොහැකි තරම්. එහෙත් ඔහු අඩසියවසකටත් වැඩි කාලයක් මෙහි ජීවත් වුවද කිසිදිනෙක මෙරට පුරවැසිභාවය ලබා ගත්තේ නැහැ. ඒ සඳහා ඉල්ලීමක් කළේත් නැහැ. ඔහුට ශී‍්‍ර ලංකා රජයෙන් පුරවැසි භාවයක් පිරිනැමුවේත් නැහැ. 1975 දී ඔහුට මෙරට රජය විසින් ප‍්‍රථම ‘නේවාසික අමුත්තා ලෙස’ (First Resident Guest Status) ගෞරව තත්ත්වයක් පිරිනමනු ලැබුවත් ඔහු මෙහි ජිවත් වූයේ බි‍්‍රතාන්‍ය පුරවැසියකු ලෙසයි. මිය යනතුරුම ඔහු වසර පහෙන් පහට වීසා අලූත් කළ බවයි, ඔහුගේ මාධ්‍ය ප‍්‍රකාශක නාලක ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කරන්නේ.

පුංචි කාලෙ ගෙවුණු හැටි

ආතර් උපන්නේ 1917 දෙසැ. 16 වැනිදා එක්සත් රාජධානියේ සොමර්සෙට් හී වෙරළ අසබඩ පිහිටි මිනිහෙඞ් කියන පුංචි ගම්මානයේ ගොවිපවුලකයි. අතින් හදා ගත්තු දුරදක්නයකින් අහස බලමින් පුංචි ආතර් ඒ කාලෙ ඉඳල ම අහසට ආදරය කරන්න පටන් ගත්තා. ඔහු පුංචි කාලෙ ගියේ ටෝන්ටන්වල හුයිෂ් භාෂා පාසලටයි. ඊට පස්සෙ අවුරුදු 19 දි ගම අත හැර ලන්ඩන් නගරයට ආවා. ලන්ඩන් විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිංස් විදුහලට ඇතුළත් වෙලා ගණිතයෙන් හා භෞතික විද්‍යාවෙන් පළමුවැනි පන්තියේ උපාධියක් ලබා ගත්තා.







කුඩා ආතර් (මැද පසුපස හිට ගෙන)



කුඩා ආතර් (මැද පසුපස හිට ගෙන)





ආචාර්ය ක්ලාක් ප‍්‍රථම චන්ද්‍රගාමියා වූ නීල් ආම්ස්ට්‍රෝං සමග

රැකියාවක් හැටියට මුලින් ම එංගලන්තයේ රාජකීය භාණ්ඩාගාරයේ විගණක නිලධරයකු ලෙස සේවයට බැඳුණා. අනෙක් තරුණයන් සමග ඔහුත් දෙවන ලෝක යුද්ධයේ දී රාජකීය ගුවන් හමුදාවට බැඳී ගුවන් නියමුවකු ලෙස සේවය කළා. යුද්ධයෙන් පස්සෙ යේට්ස්බරි හී ගුවන්විදුලි විදුහලක පුහුණුකරුවකු ලෙස සේවය කළා. පියසැරි ලූතිනන්වරයකු ලෙස විකිරණ රේඩාර් පරීක්්ෂණාගාරයක පුහුණු උපදේශකයකු ලෙස කටයුතු කළා.

1950 දී බි‍්‍රතාන්‍යයේ අන්තර් ග‍්‍රහලෝක සංගමයේ සඟරාවේ සංස්කාරක මණ්ඩලයට බැඳුණා. ඒ අතර විදුලි ඉංජිනේරු ආයතනය පළ කළ භෞතික විද්‍යා සඟරාවේ සහය සංස්කාරකයකු ලෙස ද කටයුතු කළා. 1954 දී ඕස්ටේ‍්‍රලියාවේ මහා බාධක කොරල් පරය ගවේෂණය සඳහා පිටත් වුණා.

අහම්බෙන් ලංකාවට

ආතර් මුලින් ම ලංකාවට ආවේ 1954 නොවැම්බරයේ දී ලන්ඩනයේ සිට ඕස්ටේ‍්‍රලියාවට යන අතරමගයි. ඒ කාලේ ඔහු 26 හැවිරිදි තරුණයෙක්. ඔහු එදා මෙහි ගොඩ බැස්සේ ඕස්ටේ‍්‍රලියාවේ මහා බාධක කොරල් පරය ගවේෂණ කරන්න මයික් විල්සන් කියල තවත් තරුණයකු හමුවීමට යන ගමන්. (ඒ තරුණයා තමයි පසුව ප‍්‍රථම වර්ණ සිංහල චිත‍්‍රපටය වූ ‘රන්මුතු දූව’ අධ්‍යක්ෂණය කළේ.) ආතර් ආපු නැව කොළඹ වරායේ නැංගුරම් ලෑවේ දින භාගයකට විතරයි. ඒ දින භාගය තුළ ඔහුට කොළඹ නගරයෙන් ටිකක් දැක ගැනීමටත් ඔහුගේ ජීවන ගමන් මග වෙනස් කළ අලූත් මිතුරන් දෙදෙනකු හඳුනා ගැනීමටත් හැකි වුණා. ඒ තමා මේජර් රෝලන්ඞ් රේවන්හාට් හා රොඞ්නි ජොන්ක්ලාස්. මේජර් රෝලන්ඞ් රේවන්හාට් කලකට පෙර සිට මෙහි පදිංචිව සිටි අයෙක්. රොඞ්නි ජොන්ක්ලාස් එවකට දෙහිවල සත්තුවත්තේ සහකාර අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කළා. ඕස්ටේ‍්‍රලියාවේ මහා බාධක කොරල් පර ගවේෂණයෙන් පසු ලංකාවේ මුහුද ගවේෂණය කරන්නට එන්නැයි ජොන්ක්ලාස් ආතර්ට යෝජනා කළා. ඒ ගැන එවේලේ කිසිවක් නොකිව් ආතර් නැව් නැග ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බෝන් නගරයට ගොස් මයික් විල්සන් හා එක්වුණා.



ඒ වන විට මයික් විල්සන් එහි ගොස් මාස කීපයක් ගතවී තිබුණා. ඔහු එහි මුතුපර කඩමින්, සිටියා. ඊට අතිරේක ව චිත‍්‍රපටවල දිය යට කිමිදුම් දර්ශනවල අතිරේක නළුවකු ලෙස රඟපෑවා. මයික් විල්සන් හා එක් වූ ආතර් එහි දී දිය මතුපිටත් දිය යටත් ලත් අත්දැකීම් ඇසුරෙන් පුවත්පත්වලට ලිපි කිපයක් හා පොතක් ලියුවා. එහි මාස හයක් ගත කළ ආතර් යළිත් ලංකාවට ආවේ මයික් විල්සන් එක්කයි. ඒ 1956 දීය. ඔවුන් දෙදෙනා පිළිගැනීමට වරායට ආවේ ආතර්ගේ අලූත් මිතුරා රොඞ්නි ජොන්ක්ලාස්. එදා ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් හෝටලයේ නතර වූ ඔවුන් පසුව බම්බලපිටියේ ඉන්ද්‍රා පටුමගේ තට්ටු නිවාසක පදිංචියට ගියා.

අපේ රටේ කිමිදුම් පාසලක්

ඊළඟට ආතර් හා මයික් විල්සන් දෙදෙනා රොඞ්නි සමග දකුණ බලා ගියේ ඔවුන්ගේ මුහුදු ගවේෂණය අරඹන්නටයි. මුහුදේ කිමිදෙන්නට ආතර් කොතරම් ආසා කළා ද කීවොත් අනිත් අයත් ඒ සඳහා පෙලඹෙව්වා. ඔහු හික්කඩුවේ කිමිදුම් පාසලකුත් පටන් ගත්තා. ඒ ලංකාවේ මුල් ම කිමිදුම් පාසලයි. ඒ විතරක් නෙවෙයි, ඔහු අපේ මුහුදු වෙරළට, වැල්ලට ගහ කොළවලට ආදරය කරන්න පටන් ගත්තා. ඒ නිසා ම ඔහු ලංකාව මව්බිම කර ගන්න තීරණය කළා. ඊට පස්සෙ ලොව හෙල්ලූ මත හා විද්‍යාත්මක අනාවැකි පළ කළේත්, ලෝක පූජිත වූ පොතපත ලියූවේත්, ලෝකය ඇමතුවේත් ශී‍්‍ර ලංකාවේ සිටයි. අඩසියවසකටත් වැඩි කාලයක් තිස්සේ ලිපිනය ලෙස දැක්වූයේ ශී‍්‍ර ලංකාවයි.



චන්ද්‍රිකා සන්නිවේදනයේ පියා

ආතර්ට අද ‘චන්ද්‍රිකා සන්නිවේදනයේ පියා’ යන විරුදාවලිය ලබන්නට හේතු වූ එදා 1945 දී වයර්ලස් වර්ල්ඞ් සඟරාවට ලියූ සංකල්පය හැරෙන්නට ජගත් කීර්තියට පත් අනෙක් හැම දෙයක් ම ආතර් කළේ ශී‍්‍ර ලංකාවේ සිටයි. සන්නිවේදන චන්ද්‍රිකා තුනක් උඩු ගුවනෙහි ති‍්‍රකෝණාකාරව ස්ථාපිත කළහොත් මුළු ලෝකයටම පහසුවෙන් පණිවිඩ හුවමාරු කර ගැනීම කළ හැකි යැයි ඒ ලිපියෙන් ඔහු ලොවට මුල්වරට හෙළි කළ මොහොතේ චන්ද්‍රිකාවක් උඩු ගුවනට යවන්නට ක‍්‍රමයක් සොයා ගෙන තිබුණේ නැත. ප‍්‍රථම වරට චන්ද්‍රිකාවක් උඩු ගුවනට යවනු ලැබුවේ 1958 දියි. ඒත් අද වන විට ඔහුගේ සංකල්පය පල දරා ඇති අන්දම දුරකතන, රූපවාහිනී හා අන්තර්ජාල සේවා දෙස බැලීමෙන් ම පමණක් තේරුම් ගත හැකියි. අද ඔහුගේ ඒ චන්ද්‍රිකා තාක්ෂණ සංකල්පය නිසා බිලියන ගණනක් වටිනා කර්මාන්තයක් ගොඩ නැගී තියෙනවා. ඒත් ඔහුට ඒ අදහසට ලැබුණේ පවුම් 15ක් පමණයි. ඒ ඔහු ලිපියට කරනු ලැබූ ගෙවීමයි. ආතර් සී. ක්ලාක් මහතා ඒ ගැන පසු කලෙක කීවේ මෙහෙම දෙයක්: ‘‘සමහර අය කීවා ඒ අදහසට එදා මම හිමිකම් බලපත‍්‍රයක් ලබා ගත්තා නම් මට හුඟක් සල්ලි හම්බ කර ගන්න තිබුණ කියලා. මං හිමිකම් බලපත‍්‍රයක් ලබා ගත්තේ නැත්තේ මං හිතුවේ නැහැ ඒක මගේ ජීවිත කාලයේ දී හැබෑවෙයි කියලා.’’



අනාගතය ගැන කී විද්‍යා අනාවැකි

1962 දී ඔහු ‘අනාගතය සඳහා පැතිකඩක්’ යනුවෙන් පොතක් ලියමින් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ රූපවාහිනී නරඹන්නට, පෘථිවියේ ඕනෑම තැනක සිට හෝ වාහනයකින් යන ගමන් හෝ දුරකතනයේ සංවාදයේ යෙදෙන්නට, එසැණ පුවත් ලබා ගන්නට, මුද්‍රිත ලිපි අත් පිටපත් ෆැසිමිලි ක‍්‍රමයට ලෝකයේ ඕනෑම තැනකට යවන්නට, සරල පරිගණක යතුරු පුවරුවකින් ලෝකයේ ඕනෑම පරිගණකයකට හෝ පරිගණක මතක ගබඩාවකට හෝ ඇතුළු වී දැනුම ලබා ගන්නට, කල්තබා ගත යුතු දේ චුම්බක ක‍්‍රමයට පටිගත කර තබා ගෙන ලෝකයේ ඕනෑම තැනක සිට අවශ්‍ය වූ විට ඒවා ලබා ගන්නට අනාගතයේ දී අපට හැකි වනු ඇතැයි එදා ඔහු ඒ පොතෙන් කීවා.

1969 දී මිනිසා මුල්වරට හඳට යද්දී ඒ පිළිබඳ ව විස්තර ලොවට මුලින් ම කියන්න අවස්ථාව ලැබුණේ ද ආතර් සී. ක්ලාක් මහතාටයි.

පාඨකයන්ගෙන් සමුගත් අවසාන පණිවිඩය

2007 දෙසැම්බර් 16 වැනි දා ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක් සිය 90 වැනි උපන් දිනය දා ඒ නිමිත්තෙන් ඔහු ලොව පුරා සිටින සිය මිතුරනට හා රසිකයනට සමුගැනීමේ වීඩියෝ පණිවිඩයක් නිකුත් කළා. තමන් තවත් නොබෝ කලකින් මෙලොව හැර යන බව කීවා. ඔහු ඉන් හරියට ම තෙමසකුත් දින තුනකට පසු, ශී‍්‍ර ලංකාවට මේ තරම් ආදරය කරපු ඒ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා 2008 මාර්තු 19 වැනිදා පාන්දර 1.30ට සදහට ම අපෙන් සමු ගත්තා. ඒ වෙන කොට එතුමාට අවුරුදු 90ක්. එතුමාගේ අන්තිම පොත වූ අන්තිම න්‍යාය යන අරුත් ඇති ‘ලාස්ට් තියරම්’ නම් කෘතිය ලියා අවසන් කළා විතරයි. පෝලියෝ රෝගයේ අතුරුඵලයක් හැටියට අවුරුදු 30ක් ම රෝද පුටුවකට සීමා වෙලා හිටියත් එතුමා ලෝකයේ වෙනත් කිසිම කෙනෙක් නොකළ වැඩ කොටසක් කළා.

එදා 90 වැනි උපන් දිනය දා ලෝකයට නිකුත් කළ වීඩියෝ පණිවිඩයෙන් ඔහු ජීවත්ව සිටිය දී තමන් දකින්න ආසා කළ කරුණු තුනක් ගැනත් සඳහනක් කළා. ‘මට තැවෙන්නට දෙයක් නැහැ. මට ලබා ගත යුතු දෙයක් තවත් ඉතිරිව නැහැ. ඒත් මං ආසයි, මගේ ජීවිත කාලය තුළ, සක්වළ ජීවීන් ඇතැයි යන්නට සාක්කියක් දකින්න. ලෝකය පිරිසිදු ඉන්ධනයක් භාවිත කරනවා දකින්න. තුන්වැනි කාරණය මා මේ ජීවත්වන මගේ මේ රට හා සම්බන්ධවයි. ශී‍්‍ර ලංකාවට සාමය උදා වෙනවා දකින්නත් මං ආසයි.’ ඔහු මෙරටට ආදරය කළ තරම ඔහුගේ ඒ අවසාන පණිවිඩයෙනුත් ප‍්‍රකට වුණා.


ආචාර්ය ආතර් සී. ක්ලාක් සිය 90 වැනි ජන්මදිනයේ දී නිකුත් කළ පණිවිඩය

ආචාර්ය ආතර් සි. ක්ලාක්ගේ ජයග‍්‍රහණයන් කීපයක්.

1954 දී ඕස්ටේ‍්‍රලියාවේ මහා බාධක පරයේ හා ශී‍්‍ර ලංකාව අවට ඉන්දියන් සාගරයේ කිමිදුම්වල නිරත වුණා.
1956 සිට ශී‍්‍ර ලංකාවේ පදිංචිව සිටිනවා.
පොත් 70ක් ලියා තියෙනවා. විශේෂ ලිපි හා කෙටිකතා 500ක් පමණ ලියා තියෙනවා.
1964-1968 කාලයේ දී චිත‍්‍රපට අධ්‍යක්ෂක ස්ටැන්ලි කුබ්රික් සමග ‘2001- ස්පේස් ඔඩිසි’ චිත‍්‍රපටය හා විද්‍යා ප‍්‍රබන්ධය නිර්මාණය කළා.
1957-70 විද්‍යා ආචාර්යවරයෙක් ලෙස ඇමරිකන් සරසවිවල සේවය කළා.
1957-70 කාලයේ දී ම CBS TV සඳහා ඇපලෝ වැඩ පිළිවෙළේ විශේෂඥ විස්තර ප‍්‍රචාරය කළා.
1979 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ‘බද්දේගම’ චිත‍්‍රපටයේ ලෙනාඞ් වුල්ෆ්ගේ චරිතය රඟපෑවා.
යෝක්ෂයර් ටෙලිවිෂන් ආයතනයේ ‘ආතර් සී. ක්ලාක්ගේ ගුප්ත ලෝකය (1980)’, ‘විස්මිත බලයෙන් පිරි ලෝකය (1984)’ හා ‘විස්මිත විශ්වය (1994)’ යන රූපවාහිනී වැඩසටහන් ලියා ඊට සහභාගි වුණා.
1980 දී ඉන්දියාවේ අහ්මෙදාබාද්හී භෞතික පර්යේෂණ රසායනාගාරය විසින් ‘වික‍්‍රම් සාරාභායි මහාචාර්ය’ යනුවෙන් ඔහුට පදවියක් පිරිනමා තිබුණා.
1986 නව දිල්ලියේ දී නේරු අනුස්මරණ දේශනයක් පැවැත්වුවා.
1992 දී රාජකීය රූපවාහිනී සංගමයේ ‘ඇල්ස්ටෙයාර් කුක් දේශනය’ පැවැත්වුවා. එතුමා දැරූ තනතුරු කීපයක්:

සභාපති, බි‍්‍රතාන්‍ය අන්තර්ග‍්‍රහලෝක සංගමය (1947-1950, 1953)
ගරු සභාපති, අන්තර්ජාතික චන්ද්‍රිකා වෘත්තිකයන්ගේ සංගමය
සභාපති, බි‍්‍රතාන්‍ය විද්‍යා ප‍්‍රබන්ධ සංගමය
යාවජීව සාමාජික, බි‍්‍රතාන්‍ය විද්‍යා ලේඛකයන්ගේ සංගමය
ගරු උපසභාපති, එච්. ජී. වේල්ස් සංගමය
අනුසාසක: නව තාක්ෂණය සඳහා වූ ආතර් ක්ලාක් මධ්‍යස්ථානය, ශී‍්‍ර ලංකාව.