කඩා වැටුනු යානාවලින් ලැබුණු පිටසක්වල තාක්ෂණය කෝ?

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

අභ්‍යවකාශයේදී විදුලිය නිපදවා පොලොවට සම්ප්‍රේශණය කිරීමට සැරසේ

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

Screens දෙකක් සහිත device එකකට Samsung patent අයිතිය ලබා ගනී

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

පිටසක්වල ජීවීන් හා යානා පිලිබඳ අමෙරිකානු රජයේ මෙහෙයුම්

අරුම පුදුම දේවල් බලා ගැනිමට සැරි සරන්න .සයිබර් ලොකයේ

ආදි මානවයින්ට බුද්ධිමය හැකියාවක් තිබුණාද?


ආදි මානවයින්ට පෙර ජීවත් වුනු පූර්ව-මානවයින් හට ආයුධ නිර්මාණය කිරීමේ බුද්ධිමය හැකියාවක් තිබුණාද?






ඉතියෝපියාවේ ඇෆාර් ප්‍රදේශයේ ගවේෂණ කටයුතුවල නිරතව සිටින ප්‍රාග් ඓතිහාසික මානවයින් පිලිබඳ පර්යේශණ පවත්වන කැලිෆෝනියානු විද්‍යා ඇකඩමියේ කණ්ඩායමකට තියුණු පාශාණ ආයුධයකින් සිදුකලා යයි සිතිය හැකි කැපුම් සලකුණු ඇති ඇන්ටිලෝප් මුවන්ගේ අස්ථි කොටස් හමුවී තිබේ. වසර මිලියන 3.39ක් පැරණි යයි කාබන් කාළනිර්ණ පරීක්සාවේදී සනාථවී ඇති මෙම අස්ථි වල කැපුම් සළකුණු සිදුවුනු කාළයේ ආදි පූර්ව මානවයෙකු (pre-human hominid) ලෙස සැළකෙන ඔස්ට්‍රාලෝපිතිකස් ඇෆරෙන්සිස් ගේ ජනාවාස මෙම ප්‍රදේශයේ තිබූ බවට සාක්ශි හමුවී ඇත. ඒ අනුව මෙම කැපුම් සළකුණු මෙම ආදි මානවයින් විසින් මස් සූරාගැනීම සඳහා භාවිතාකල පාශාණ ආයුධ වලින් සිදුවන්නට ඇතැයි එම පර්යේශකයින් නිගමණය කර ඇත. කැපුම් සළකුණු ඇති මේ අස්ථි පරීක්ශාකල වෙනත් පර්යේශකයින් බොහෝ දෙනෙකුද මෙම සළකුණු ආයුධ වලින් සිදුවන්නට ඇති ඒවා බවට විශ්වාස කරයි. මේ අනුව ආදි මිනිසාගේ ආයුධ භාවිතය කලින් අනුමාන කරනලද කාළයට වඩා වසර 800,000 තරම් කලින් සිදුවන්නට ඇති බව නිගමනය කරන්නට සිදුවේ. ආයුධ භාවිතය ආරම්භ කරනලද මුල්ම මානවයා ලෙස කලින් අනුමාන කොට තිබුනේ හෝමෝ හැබිලිස් නම් ආදි මානවයායි. හෝමෝ හැබිලිස් විසින් භාවිත කරන ලද පාශණ ආයුධ ඔවුන්ගේ ජනාවාස තිබුණු ප්‍රදේශවලින් හමුවී ඇත.

එහෙත් වසර මිලියන 3.39ක් ඈත අතීතයේදී ආදි පූර්ව මානවයින් ආයුධ භාවිතකරන්නට තරම් වන්නට බුද්ධිමත් නැතැයි විශ්වාස කරණ පර්යේශකයින්ද සිටින අතර ඔවුන් පවසන්නේ මෙවැනි කැපුම් සළකුණු ඇන්ටිලෝප් මුවන් බිලිගන්නා අප්‍රිකානු කිඹුලන්ගේ තියුණු දත් වලින් සිදුවූ ඒවා වියයුතු බවයි. තවත් අදහසක් වන්නේ මෙම අස්ථි වල කැපුම් වෙනත් කුර සහිත සතුනට මෙම අස්ථි පෑගීම නිසා සිදුවිය හැකි බවයි. කෙසේ වෙතත් කැලිෆෝනියා විද්‍යා ඇකඩමි පර්යේෂණ කණ්ඩායම පවසන්නේ ඔස්ට්‍රාලෝපිතිකස් ආදි මානවයා නූතන චිම්පන්සීන් තරමට හෝ බුද්ධියෙන් යුතු මානවයින් බවත් චින්පන්සීන් ගැන පර්යේශණ පවත්වන විද්‍යාඥයින් අප්‍රිකානු චිම්පන්සීන් සරල ආයුධ භාවිතා කරනා ආකාරය නිරීක්ශණය කොට වීඩියෝ ගතකොට ඇති නිසා ඔස්ට්‍රාලෝපිතිකස් ආයුධ භාවිතා කරන්නට ඇති බවට ගොඩ නැගිය හැකි තර්කය එතරම් අභව්‍ය නොවන බවයි.

හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ ශිලා ආයුධ නිමැවීමේ හැකියාව පෙර අනුමානයට වඩා ඉතා ඉහලින් තිබූ බව තහවුරුවේ.


රහසිගත අභ්‍යවකාශ ශටලය


X-37B අමෙරිකන් ගුවන් හමුදාවේ රහසිගත අභ්‍යවකාශ ශටලය



යාවත්කාලීන කිරීම : දින 469 අභය්‍යවකාශයේ ගතකල X - 37B යානයේ දෙවැනි මෙහෙයුම අවසන්කොට 2012 ජූනි 18 දින කැළිෆෝනියාවේ වැන්ඩන්බර්ග් ගුවන්හමුදා කඳවුරට ගොඩබැස්සවූ බව "විද්‍යා ගවේශණ" වෙත වාර්තාවෙනවා. සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව සිදුවූ මෙම මෙහෙයුමෙන් අණතුරුව, යානයේ පරිගණක නියමුවන් එය ශටල්යානය ගොඩබස්වන ආකාරයට් වැන්ඩන්බර්ග් කඳවුරේ ගුවන්පථයකට බැස්සවූ බව X - 37B ව්‍යාපෘති කළමණාකරු ලෙස කටයුතු කරන ලුතිනන් කර්නල් ටොම් මැකින්ටයර් මාධ්‍යවලට ප්‍රකාශකලා.

~ / ~
පසුගිය වසරේ (2010) අප්‍රියෙල් 22වැනි දින ෆ්ලොරිඩාවේ (අමෙරිකා එක්සත් ජනපදය) කැනවරල් තුඩුවෙන් ඇට්ලස් 5 වර්ගයට අයත් රොකට්ටුවක් ගුවන් ගතවිය. උඩුගුවනට චන්ද්‍රිකා හා වෙනත් උපකරණ ගෙනයාම සඳහා නිතරම ඇට්ලස් රොකට්ටු ගුවන් ගතකරන නිසා එම රොකට්ටුවේ ගුවන් ගතවීම ගැන කැනවරල් තුඩුව අවට ජනතාව එතරම් තැකීමක් කලේ නෑ. විනාඩි සතරක දහන කාලයකින් පසු රොකට්ටුවේ පලමු අදියරේ (1st stage) ඉන්ධන අවසන් වුනු අතර එය වෙන්වී ඉවත්වද්දී දෙවන අදියරේ රොකට් එන්ජින් දැල්වී ඇට්ලස් 5 රොකට්ටුවේ payload කොටස (රොකට්ටුවක චන්ද්‍රිකාව ගබඩාකර තිබෙන කොටස) තවත් ඉහලට රැගෙන ගියා.



X-37 උඩුගුවනට ගෙන ගිය ඇට්ලස් 5 රොකට්ටුව

කැනවරල් තුඩුව අවට වැසියන් තවත් එක් රොකට් ගමනක් ලෙස මේ ගුවන්ගත කිරීම අමතක කොට දමද්දී කැනවරල් තුඩුවේ අභ්‍යවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානය තුල අමෙරිකානු ගුවන්හමුදාව රහසිගත මෙහෙයුමක නිරතවෙමින් සිටියා. එයට හේතුව මීට විනාඩි කිහිපයකට කලින් දියත් කල ඇට්ලස් රොකට්ටුව තුල ගබඩාකොට තිබුණේ සාමාන්‍ය කාළගුණ චන්ද්‍රිකාවක් හෝ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගොඩනැගීමට ඉහලට ගෙන යන තවත් එක් කොටසක් නොවේ, ඒ වෙනුවට අමෙරිකානු ගුවන් හමුදාව දශක ගණනාවක් තිස්සේ සැළසුම් කරමින් නිර්මාණය කරමින් සිටි අභ්‍යවකාශ ශටලය මේ ඇට්ලස් රොකට්ටුවේ පේ-ලෝඩ් (payload) කොටස තුල සැඟවී උඩුගුවනට යමින් තිබුණු නිසයි.තවත් විනාඩි කිහිපයකදී ඇට්ලස් රොකට්ටුවේ ඉහලම අදියර පෘථිවි කක්ශයට ඇතුලු වුනු අතර පේ-ලෝඩ් කොටසේ දොරටු විවරවී එය තුල සැඟවී තිබුණු කුඩා ශටල් යානය සාර්ථකව කක්ශගත කෙරුණා.




අඩි 29ක් දිග, ඩෙල්ටා හැඩැති අත්තටු වලින් යුතුවුනු මේ යානය X-37B Orbital Test Vehicle ලෙස නම් කොට තිබෙනවා. පෙනුමෙන් නාසා අභ්‍යවකාශ ශටලයේ කුඩා අනුරුවක් මෙන් දිස්වෙන මේ යානය අමෙරිකන් ගුවන් හමුදාවත් එහි තාක්ශණික කොන්ත්‍රාත් සමාගම වුනු සුප්‍රකට බෝයිං ගුවන් යානා සමාගමේත් දශක 3ක පමණ වෑයමක ප්‍රතිපලයකි.

අමෙරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුව වසර 50ක පමණ කාලයක සිට තමන්ගේ අභ්‍යවකාශ ප්‍රවාහන පද්ධතියක අවශ්‍යතාවයෙන් පෙලුනත් අභ්‍යවකාශ ගවේශණ සඳහා වෙන් කෙරුනු මුදල්වලින් අතිවිශාල ප්‍රමාණයක් නාසා ආයතනයට හා එහි ශටල් ව්‍යාපෘතියට වෙන්වුනු නිසා අමෙරිකානු ආරක්ශක අමාත්‍යාංශයට සිදුවුනේ නාසා අභ්‍යවකාශ ගමන්වලින් තම අවශ්‍යතා සපුරාගැනීමටයි. එහෙත් නුදුරු අනාගතයේදීම නාසා අභ්‍යවකාශ ශටල් ව්‍යාපෘතිය විශ්‍රාම ගැන්වෙන නිසා තමන්ගේම ශටල් යානයක් අත්හදා බැලීමේ අවකාශය හා ප්‍රතිපාදන අමෙරිකානු ගුවන්හමුදාවට ලැබුනා.





සැබැවින්ම X-37 ව්‍යාපෘතිය මුලින් යුධමය ව්‍යාපෘතියක් වුනේ නෑ. X යන නාමයෙන් හැඳින්වෙන්නේ නාසා ආයතනයේ X-Plane ව්‍යාපෘතියට අයත් අතිශය පර්යේශණ මට්ටමේ තිබෙන අධිවේගී ගුවන්යානා කාණ්ඩයකටයි. මේ ගුවන්යානා විවිධ අති නවීන ගුවන් හා අභ්‍යවකාශ තාක්ශණ අතහදාබැලීමටත් වැඩිදියුණු කිරීමටත් යොදාගැනුනා. ශටල් යානයට ආදේශකයක් ලෙස අභ්‍යවකාශ ගතකොට නැවත ගුවන්යානයක් මෙන් පොලවට ගොඩබැසීමේ තාකශණය 1970 දශකයේ නිර්මාණය ලෙරුණු ස්පේශ් ශටල් තාක්ශණයෙන් ඔබ්බට ගෙනයාමේ වෑයමක් ලෙසයි 1999දී නාසා ආයතනය බෝයිං සමාගම සමග එක්ව X-37 ව‍යාපෘතිය ආරම්භකලේ. 2004 වසරේදී අමෙරිකානු ගුවන් හමුදාවට අනුයුක්ත කරනතෙක්ම නාසා ව්‍යාපෘතියක් ලෙස පියවරන් පියවර ඉදිරියට ගිය X-37 ව්‍යාපෘතිය නව තාක්ශණයන් රැසක් බිහිකොට තිබෙනවා.


මුලුමනින්ම ස්වයංක්‍රීයව ක්‍රියාත්මකවෙන X-37 යානය බිහිකල තාක්ශණයන් අතර පෘථියට ආපසු ඒමේදී (re-entry from orbit) අභ්‍යවකාශ යානයක් ලක්වෙන ෆැරන්හයිට් අංශක 3000ක උශ්ණතවයට ඔරොත්තු දිය හැකි එහෙත් ඉතා සැහැල්ලු ප්ලාස්ටික් වැනි වර්ගයක් මේ පර්යේශණ ඔස්සේ බිහිවී තිබෙනවා. නාසා අභ්‍යවකාශ ශටලය මේ උශ්ණත්වයට ඔහොත්තුදීමට භාවිතාකරන්නේ විශේෂිත මැටිවර්ගයකින් නිමැවුනු සෙරමික් ටයිල් විශේෂයක්. බරින් වැඩි මේ සෙරැමික් ටයිල් ශටලයේ පෘශ්ඨය මත රැඳවුනේ ගම් වර්ගයකින් ඇලවීමෙන්. මේ නිසා මේවා නිතරම ගැලවී යන අතර 2001 වසරේ කොලොම්බියා ශටලය අභ්‍යවකාශ ගමනක් නිමකොට ආපසු පොලව බලා එනවිට විනාශවී ගියේ මේ සෙරැමික් ටයිල් පදාසයක් ගැලවීගොස් යානය අධික ලෙස රත්වීම නිසයි.


අමෙරිකානු ගුවන් හමුදාව මේ X-37B යානයේ හැකියාවන් ගැන වැඩිපුර යමක් නොකීමට වගබලාගන්නා අතර ඔවුන්ගේ වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට X-37B ශටලයේ හැකියාවන් වේගයෙන් වැඩිදියුණු කොට ඉතා ඉක්මණින් මිනිසුන් රැගෙන අභ්‍යවකාශයට යාහැකි වඩා විශාල ශටලයක් නිර්මාණය කරන බව පමණක් පවසනවා.


X-37 යානය ගැනට දැනට ලැබී ඇති තාක්ශණික තොරතුරු



දිග මීටර් 8.9
පලල (අත්තටු දෙකෙලවරට ) මීටර් 4.5
උස මීටර් 2.9
ඉන්ධන පිරැවූ විට බර මෙට්‍රික් ටොන් 4.5
පේ ලෝඩ් කොටසේ විශාලත්වය මීටර් 2.1 X මීටර් 1.2
කක්ශයේදී බලය ලබාගන්නේ ගැලියම් ආසනයිඩ් සූර්‍ය්කෝශ හා ලිතියම්-අයන බැටරි පද්ධතියක් මගිනි
කක්ශයේදී පෘථිවිය වටා ගමන්කරන වේගය පැයට කිලෝමීටර් 28,200
අභ‍යවකාශයේ රැඳීසිටිය හැකි කාලය උපරිම දින 270කි
කක්ශගතවන උස පොලොවේ සිටි කිලෝමීටර් 160ක උසකිනි

Space Shuttle Discovery


Space Shuttle Discovery - 27 වසරක සේවාවේ අවසන් පියාසැරිය [ Final flight to space after 27 years of service ]





ඩිස්කවරි අභ්‍යවකාශ ශටලය 2011 පෙබරවාරි 25, අමෙරිකානු වෙලාවෙන් පස්වරු 4.53 කෙනඩි තුඩුවෙන් උඩුගුවන වෙත අවසන් වතාවට නික්ම ගිය ආකාරය

STS-133 ලෙස නම් කොට ඇති ඩිස්කවරි යානයේ අවසන් පියාසැරිය නාසා ආයතනයේ ස්වර්ණමය යුගයේ අවසන් පියවරයන් සනිටුහන් කරනවා. අධික වියදම හා ආරක්ශාව (safety) පිලිබඳ ඇති ගැටලු නිසා ශටල් ව්‍යාපෘතිය නවතා දැමීමට අමෙරිකානු රජය නාසා ආයතනයට නියෝග කොට තිබෙනවා. මේ නියෝගයේ ප්‍රථිපලයක් ලෙසයි 27 වසරක් විවිධ පර්යේශණයන් සඳහා අභ්‍යවකාශගාමින් උඩුගුවන වෙත ගෙනගොස නැවත නිරුපද්‍රිතව ආපසු රැගෙන ආ ඩිස්කවරි යානයට විශ්‍රාම දිවියට එළබෙන්නට සිදුවී ඇත්තේ.


STS-131 අවසන් ඩිස්කවරි පියාසැරියේ ගගනගාමීන් පෙනීසිටින සමූහ ඡායාරූපය හා ඔවුන්ගේ මෙහෙයුම් ලාංඡනය.

මේ පියාසැරියේදී ඩිස්කවරි යානය මගින් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට තවත් එක් වැදගත් කොටසක් රැගෙන යනවා. ඊට අමතරව "රොබෝනෝට්" නම් මිනිස් හැඩරුව ඇති රොබෝ ගගනගාමියෙකුද ඩිස්කවරි යානය මගින් උඩුගුවනට ගෙන යනවා.


[1] අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගොඩනැගීමට ගෙනයන මොඩියුලය ඩිස්කවරි ශටලයේ රඳවා ඇති ආකාරය [2] අභ්‍යවකාශයට යන පලමු රොබොවා - රොබෝනෝට් [3] ඩිස්කවරි මගින් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අලුතින් එක් කරන කොටස් පෙන්වන රූපය

ඩිස්කවරි ශටල් යානයේ වැදගත් සිදුවීම්

* ඩිස්කවරි යානයේ ඉදිකිරීම් කටයුතු 1979 අගෝස්තු 27වැනිදා කැලිෆෝනියාවේදී ඇරඹුනු අතර 1983දී යානය නිමවා අවසන් විය

* යානයේ පලමු පියාසැරිය 1984 අගෝස්තු 30වැනිදා සිදුවුනු අතර එය STS-41D යන කේත නාමයෙන් හඳුන්වන ලදී.


* ඩිස්කවරි යානයේ පලමු පියාසැරිය සිදුවූ 1984දී එය නාසා ආයතනය සතු වුනු 3වැනි ශටලය වූ අතර ඊට පෙර නිපැදවූ කොලොම්බියා හා චැලෙන්ජර් යානා ඒවනවිට සාර්ථකව අභ්‍යවකාශ චාරිකාවල යෙදෙමින් තිබුණි.

* 1990 අප්‍රියෙල් 24දින STS-31 ලෙස නම් කෙරුනු අභ්‍යවකාශ චාරිකාවකදී ඩිස්කවරි යානය හබල් අභ්‍යවකාශ දුරේක්ශය උඩුගුවනට ගෙනගොස් සාර්ථවකව කක්ශගත කලේය.

* 1995 පෙබරවාරි 3වැනිදා STS-63 ලෙස නම් කෙරුනු ඩිස්කවරි ශටල් මෙහෙයුමකදී ප්‍රථම වතාවට කාන්තාවක් ශටල් යානයේ නියමුවරිය (shuttle pilot) ලෙස කටයුතු කරමින් වාර්තා පොතට එක්වූ වාය. මේ මෙහෙයුමේදී රුසියානු මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග ඩිස්කවරි යානය සාර්ථකව සම්බන්ධවිය.

* ඩිස්කවරි යානය අභ්‍යවකාශ චාරිකාවල යෙදුනු මුලු වාර ගණන 38

* එය අභ්‍යවකාශයේ ගතකල මුලු කාළය පැය 8441 විනාඩි 51

* සියළු චාරිකාවලදී එය පෘථිවිය වටා ගමන්කල වාර ගණන 5628

* ඩිස්කවරි යානයෙන් උඩුගුවනට ගිය ගගනගාමීන් ගණන 246

* මේ සියලු ගමන් වාරවලදී ඩිස්කවරි යානය ගමන් කල මුලු දුර සැතපුම් වලින් නම් 142,917,535. ඩිස්කවරි යානය චන්ද්‍රයා වෙත පියාසර කළහැකි යානයක් නම් එය ගමන්කල මේ දුර ප්‍රමාණය චන්ද්‍රයාවෙත 288 වතාවක් පියාසර කොට ආපසු පැමිණීමට තරම් වන දුර ප්‍රමාණයකි.

* ඩිස්කවරි යානය අභ්‍යවකාශයේදී සාමාන්‍යයෙන් ගමන් කරන වේගය පැයට සැතපුම් 17,400ක් හෙවත් ශබ්දයේ වේගය මෙන් 25 ගුණයක වේගයකිනි. එනම් වෙඩි උණ්ඩයකට වඩා පස් ගුණයක වේගයකින් ඩිස්කවරි යානය අභ්‍යවකාශයේදී පෘථිවිය වටා ගමන්කරයි.



ඩිස්කවරි යානය කල සේවාව සැමරීමට නාසා ආයතනය එය පියාසර කල සියලු අභ්‍යවකාශ චාරිකාවල මෙහෙයුම් ලාංඡනද (mission patchs) ඇතුලත් කොට නිර්මාණය කරන ලද සැමරුම් ඡායාරූපය


නිශ්පාදන කටයුතු අවසන් වීමෙන් පසු ඩිස්කවරි යානය කැලිෆෝනියාවේ සිට ෆ්ලොරිඩාවේ කෙනඩි තුඩුව දක්වා ගුවන් මගින් ගෙන ආ අයුරු.


ඩිස්කවරි යානය සිය මංගල පියාසැරියට නික්ම යන ආකාරය - 30th August 1984





මෙහෙයුමක් අවසන් කළ ඩිස්කවරි යානය ආපසු ගොඩබසින ආකාරය



ඩිස්කවරි යානයේ අවසන් ශටල් ගමනට පුහුණු වන ගගනගාමී කණ්ඩායම විනෝදයෙන් සිටින මොහොතක්



ඩිස්කවරි යානය තුල අවසන් මෙහෙයුමට පුහුණු වෙමින්....




රොබෝනෝට් රොබෝ ගගනගාමියා හා ඩිස්කවරි යානයේ අවසන් ගගනගාමින් කණ්ඩායම.

හඳුනාගන්න HD TV


හඳුනාගන්න HD TV (High Definition Television)






High Definition Television (හයි ඩෙෆිනිශන් ටෙලිවිශන්) හෙවත්HDTV යනු ඉතා ඉහල විභේදනයක් (resolution) සහිත රූපවාහිනී වර්ගයකි. ඩිජිටල් ටෙලිවිශන් (Digital TV - DTV) ගණයට අයත්වන එච්.ඩී.ටීවී රූපවාහිනී වල රෙසොලූශන් ඉතා ඉහල නිසා ඉතාමත් සුපැහැදිලි, තියුණු රූප තිරයේ මැවෙයි.උදාහරණයක් ලෙස දැනට අප නිවෙස්වල තිබෙන පෑල් (PAL) වර්ගයට අයත් රූපවාහිනීවල තිරයේ දිවන දර්ශණයේ රෙසොලූශන් එක (විභේදනය) 720×576 වෙයි. එනම්, තිරයේ රූපය නිර්මාණය කරන කුඩා රූපාංග (පික්සෙල්-pixel) 414,720 සමන්විතවෙයි.


ඔබගේ පරිගණකයේ WXGA LCD එනම් (Wide XGA resolution) වර්ගයේ තිරයක් ඇත්නම් ඔබට 800x600 (ලෝ රෙසොලූශන්) සිට 1360x768 (හයි රෙසොලූශන්) දක්වා පරාසයක් තෝරාගත හැක. බොහෝ පරිගණක WXGA LCD තිර 1360x768 රෙසොලූශන් එකකින් ක්‍රියාත්මක වීමට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මගින් සකසා ඇත්තේ තියුණු රූපයක් ලබාදීම සඳහාය.

මේ නිසා ඔබ, ඔබගේ ඩී.වී.ඩී තැටි පරිගණකයක ධාවනය කර චිත්‍රපටිය නරඹනවිට ලැබෙන රූපය එම ඩී.වී.ඩී තැටියම සාමාන්‍ය රූපවාහිනියකට සවිකල ඩී.වී.ඩී යන්ත්‍රයක ධාවනය කලවිට ලැබෙන රූපයට වඩා තියුණු බවින් වැඩිය.



මෙහි CRT TV යනු අප නිවෙස්වල ඇති කැතෝඩ කිරණ ටියුබයකින් සමන්විත රූපවාහිනී යන්ත්‍රයි.

නියම HDTV වලින් ලබාදෙන විභේදනය පරිගණක LCD තිරයක් මගින් ලබාදෙන විභේදනයටත් වඩා ඉහල විභේදනයක් ලබාදෙයි. මෙය පික්සල් (එනම් රූපාංග) 2,073,600 තරම් ඉහල අගයක් ගනී.


සාමාන්‍ය රූපවාහිනියකින් ලබාදෙන පික්සල් 414,720 ගණනකින් සැකසෙන රූපයක් හා නියම HDTV (True HDTV) රූපවාහිනියක පිකසල් 2,073,600 ගණනකින් සැකසෙන රූපයකත් මොනතරම් වෙනසක් ඇත්දැයි ඔබට සිතාගත හැක. නියම එච්.ඩී.ටීවී රූපවාහිනියකින් ඔබගේ රූපවාහිනිය මෙන් පස් ගුණයක් සුපැහැදිලි, තියුණු, ත්‍රීව්‍ර රුප ලබාදිය හැකිය.


Screen Resolutions of HDTV (source : Wikipedia)





දැනට HDTV මාදිලි තුනකින් (video mode) වෙලඳ පොලට නිකුත් වෙයි. මේවානම් 720p, 1080i හා 1080p යනුවෙනි. මෙහි 720 හෝ 1080න් දක්වන්නේ රූපවාහිනී තිරයේ මෙහි 720 හෝ 1080න් දක්වන්නේ රූපවාහිනී පික්සල් වලින් තිරයේ උස ප්‍රමාණයයි (එනම් 720 තිරයක සිරස් අතට පික්සල් 720ක් ඇත ). p හෝ i වලින් දැක්වෙන්නේ රූපය ගොඩනගන තාක්ශණ දෙවර්ගයයි. පී යනු ප්‍රොග්‍රෙසිව් ස්කෑන් (progressive scan) තාක්ශණයෙන් රූපය ගොඩනගන රූපවාහිනී තිරවලටයි. අයි යනු ඉන්ටර්ලේස් තාක්ශණයෙන් (interlace scan) රූපය ගොඩනගන රූපවාහිනී තිරවලටයි. HDTV තාක්ශණය නිවැරදිව වටහාගැනීමට රූපය ගොඩනගන ප්‍රොග්‍රෙසිව් හා ඉන්ටර්ලේස් තාකශණ වටහා ගතයුතු නිසා එය වැඩිදුර හදාරමු.


Progressive Scan






රූපවාහිනි තිරයක චල රූපයක් ලෙස දිස්වන්නේ ඉතාවේගයෙන් ඇඳෙන නිසල රූ විශාල ප්‍රමාණයක් නිසාය. මේ නිසල රූ ෆ්‍රේම්ස් (frames) ලෙස හඳුන්වන අතර ෆ්‍රේම් එකක් ගොඩනැගෙන්නේ තිරස් තීරු (horizontal lines) විශාල සංඛයාවක් එකතුවීමෙනි (රූපසටහන බලන්න ) . 1080 රෙසොලූශන් එකක් ඇති එච්.ඩී ටීවී තිරයක එක ෆ්‍රේම් එකක තිරස් පික්සල් තීරු 1080 ඇත. ඒ අනුව එක ෆ්‍රේමයක් නිර්මානය කිරීම සඳහා රූපවාහිනි යන්ත්‍ර ඉතාවේගයෙන් පික්සල් තීරු 1080ක් ඇඳ ෆ්‍රේම් එක ගොඩනගයි. සැනෙකින් එම ෆ්‍රේමය මැකීගොස් ඊලඟ ෆ්‍රේමය ඇඳෙයි. සාමාන්‍යයෙන් රූපවාහිනි තිරයක තත්පරයට නිසල ෆ්‍රේම් 50-60 සංඛයාවක් ඇඳීමෙන් චල රූපයක් නිර්මාණය වෙයි. මෙය රූපවාහිනියේ සංඛ‍යාතය නොහොත් ෆ්‍රීක්වන්සි එක ලෙස හඳුන්වයි. මෙය ෆ්‍රේම් රේට් (frame-rate) ලෙසද හඳුවයි.

ප්‍රොග්‍රෙසිව් ස්කෑන් ක්‍රමයේදී සිදුවන්නේ රූපය සැකසෙන තිරස් පික්සල් තීරු සියල්ලම සෑම රූපයක්ම (frame- ෆ්‍රේම් එකක්ම) වෙනුවෙන් සම්පූර්ණයෙන් සටහන් වීමයි. ප්‍රොග්‍රෙසිව් ස්කෑන් ක්‍රමයෙන් මැවෙන රූප ඉන්ටර්ලේස් ක්‍රමයෙන් මැවෙන රූප වලට වඩා ඉතා පැහැදිලි වන නමුත් මේ සඳහා ඉහල තාක්ශණයක් අවශ්‍ය බැවින් ප්‍රොග්‍රෙසිව් ස්කෑන් රූපවාහිනී, ඉන්ටර්ලේස් රූපවාහිනිවලට වඩා මිලෙන් අධිකය.


Interlace Scan


ඉන්ටර්ලේස් තාක්ශනයේදී සිදුවන්නේ සෑම ෆ්‍රේම් එකක්ම සියලුම පික්සල් තීරුවකින්ම සකසනවා වෙනුවට ෆ්‍රේමයෙන් ෆ්‍රේමයට ඇඳෙන තීරු වෙනස් කිරීමයි. එනම් පලමුවන ෆ්‍රේමයේදී ඔත්තේ සංඛ්‍යාවකින් දැක්වෙන තීරු පමණක් ඇඳෙන අතර ඉරට්ටේ සංඛ්‍යාවකින් දැක්වෙන තීරු ඇඳෙන්නේ නැත. ඊලඟ ෆ්‍රේමයේදී ඉරට්ටේ තීරු ඇඳී ෆ්‍රේමය සැකසෙන අතර ඔත්තේ තීරු ඇඳෙන්නේ නැත. මේ ක්‍රමයෙන් රුපයේ තියුණු භාවය අඩුවෙන අතර චල රූප දැක්වීමේදී දෝශ පෙන්වයි. එහෙත් ඉන්ටෙර්ලේස් තාක්ශණය ලාභදායි නිසා මෙවැනි රූපවාහිනි (එච්.ඩී.ටීවී ) වුවත් සාපේක්ශව මිලෙන් අඩුවේ.


ඉන්ටර්ලේස් ක්‍රමයට සැකසෙන චලරූපයක ඇතිවෙන දෝශ පහත රූපයෙන් වටහා ගත හැකිය.





යම් නිශ්පාදකයෙක් සිය එච්.ඩී. ටීවී රූපවාහිනි තාක්ශණය 1080i ලෙස හඳුන්වාදෙන්නේ නම් එම රූපවාහිනිය ඉන්ටර්ලේස් වර්ගයට අයත් ප්‍රොග්‍රෙසිව් ස්කෑන් වර්ගයට වඩා අඩු තාක්ශණයේ රූපවාහිනියක් වනු ඇත. සැබැවින්ම ගත්කල 720p HDTV රූපවාහිනියක් 1080i HDTVරූපවාහිනියකට වඩා හොඳ රූපයක් ලබාදෙන බව කියැවේ. 720ට වඩා 1080 විබේධනය (screen resolution) ඉහල වුනත් ඉන්ටර්ලේස් තාක්ශණයේ අවාසි නිසා 720p රූපවාහිනිවල image quality 1080i වලට වඩා ඉහලය.

HDTV Aspect ratio

ඇස්පෙක්ට් රේශියෝ (aspect ratio) ලෙස හඳුන්වන්නේ රූපවාහිනී තිරයක පලල හා උස අතර අනුපාතයයි. අප භාවිතා කරන ඇනලොග් වර්ගයේ රූපවාහිනී තිරවල ඇස්පෙක් රේශියෝව 4:3 වෙයි. එනම් පලල 4 වනවිට උස 3ක් වෙයි. තිරයේ විශාලත්වය අඟල් කීයක් වුවත් ඇස්පෙක් රේශියෝව වෙනස් නොවේ. උදාහරණයක් ලෙස අඟල් 25ක් ඇනලොග් රූපවාහිනියක තිරය අඟල් 20ක් දිග වන අතර අඟල් 15ක් පලල් වේ. ඒ 4:3 අනුපාතයටයි.

අලුත්ම පරිගණක මොනිටර් හා එච්.ඩී ටීවී නිමවා ඇත්තේ 16:9 අනුපාතයටයි. මේ අනුව පලල 16ක් වන තිරයක උස 9ක් ලෙස සැකසේ. 16:9 අනුපාතය නිසා ප්‍රේක්ශකයාට වඩා පුලුල් රූපයක් දර්ශණය වේ.






True HD


ටෲ එච්.ඩී හෙවත් සැබැවින්ම එච්.ඩී තාක්ශණයෙන් ලැබෙන උපරිම image quality ලබාදෙන රූපවාහිනී ටෲ එච්.ඩී ලෙස හැඳින්වේ. දැනට වෙලඳ පොලේ ඇති ටෲ එච්.ඩී රූපවාහිනි යන්ත්‍ර 1080p මාදිලියේ ඒවා වෙයි.


HDTV Broadcasters


තාක්ශණයෙන් ඉහල නිසාත්, උපකරණ මිල අධික නිසාත් දැනට එච්.ඩී ටීවී විකාශයන් සිදුකරන්නේ බටහිර රටවල් කිහිපයක කේබල් නාලිකා කිහිපයක් පමණකි. මේවා අතර TNT, ESPN, Discovery, ESPN, and HBO ප්‍රධාන වේ.








Blu Ray Disks



බ්ලූ රේ ඩිස්ක් යනු ගිගාබයිට 50ක ධාරිතාවයකින් යුතු සී.ඩී රොම් වර්ගයේ ප්‍රකාශ තැටියකි (optical disk). අධික ධාරිතාව නිසා බ්ලූ රේ ක්‍රමයට සකසන ලද චිත්‍රපට වලට එච්.ඩී තාක්ශණයේ ඉතා ඉහල විබේධනයකින් යුතු චිත්‍රපට ගබඩා කල හැකිය. මේ නිසා බ්ලූ රේ තැටි ධාවන යන්ත්‍රයක් 1080ප් මාදිලියේ එච්.ඩී රූපවාහිනි යන්ත්‍රයකට සම්බන්ධ කොට බ්ලූ රේ ක්‍රමයට සකසන ලද චිත්‍රපටයක් නරඹනවිට ඉහලම වින්දනයක් ලබාගත හැකිය.


සඳ මත පා සටහන් තැබූ පලමුවැනි මිනිසා


සඳ මත පා සටහන් තැබූ පලමුවැනි මිනිසා, නීල් ආම්ස්ට්‍රෝං ලොවින් සමුගනී....



1969 ජූලි 20 වැනිදා, ලොව ජනගහනයෙන් බිලියන භාගයක් රූපවාහිනී තිරවලින් නෙත් අයා බලා සිටිද්දී, නීල් ආම්ස්ට්‍රෝං, සඳමත පා සටහන් තබමින්, මිනිස් වර්ගයා සිය කැදැල්ල වූ පෘථිවියෙන් ඉවතට පියඹා ගිය බව මුලුමහත් ලෝකයටම පමණක් නොව, විශ්වයටම හඬගා කීවේ, "මෙය මිනිසෙකුට කුඩා පියවරක් වුවද, මිනිස් සංහතියටම යෝධ පිම්මකි...." යන වදන් රේඩියෝ තරංග හරහා අවකාශයට මුසු කරමිනි.

82වැනි වියේ පසුවූ මේ වික්‍රමාන්විත මිනිසා ඊයේ (25), මිය ගිය බව ඔහුගේ පවුලේ සාමාජිකයින් සංවේගයෙන් දැනුම් දී තිබේ. මීට තුන් මසකට පෙර බයි පාස් සැත්කමකට බඳුන් කරන ලද ආම්ස්ට්‍රෝං, එමගින් ඇතිවුනු සංකූලතා හේතුවෙන් මියගිය බව පැවසේ.


ගගනගාමියෙකු වීමට පෙර අමෙරිකානු නාවික හමුදාවේ ප්‍රහාරක ජෙට් නියමුවෙකු වුනු ආම්ස්ට්‍රෝං, ඉන්පසු නාවික හමුදාවෙන් ඉවත්ව පර්ඩියු විශ්වවිද්‍යාලයෙන් ගගන- ඉන්ජිනේරු විද්‍යාව පිලිබඳව උපාධියක් දිනාගත්තේය.

උපාධිය අවසන් කිරීමෙන් පසු, නාසා ආයතනයේ පූරෝගාමී ආයතනය වූ NACA ආයතනයේ පරීක්ශණ ගුවන් නියමුවෙකු (test pilot) ලෙස රොකට් බලයෙන් ක්‍රියාත්මකවන අධිවේගී ගුවන්යානා නියමුවෙකු ලෙස ක්‍රියා කරමින් පියාසර පැය දහස්ගණනක් සිය සේවා වාර්තාවට එක්ක්කර ගත්තේය. ආම්ස්ට්‍රෝං සිදුකල වඩාත්ම සුප්‍රසිද්ධ රොකට් ගුවන් පියාසැරිය වන්නේ 1962 සැප්තැම්බරයේ X-15 රොකට් ගුවන් යානයකින් සිදුකට අධිවේගී පියාසැරියයි. පැයට කිලෝමීටර් 3200ක වේගයකින් සිදුවුනු මේ පියාසැරියේදී ආම්ස්ට්‍රෝං සිය X-15 ගුවන් යානය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 63ක් ඉහලට ගෙනගියේ නව වාර්තාවක්ද තබමිනි.

ඇපලෝ 11 පියාසැරියෙන් සඳමත ගොඩබැසීමට පෙර ආම්ස්ට්‍රෝං ජෙමිනි 8 හා ජෙමිනි 11 පියාසැරි වලින් පෘථිවිය වටා කක්ශගත වී, සඳගමනට අවශ්‍ය විවිධ පර්යේශණ ගණනාවක් හා තාක්ශණික අත්හදා බැලීම් ගණනාවක් සිදුකලේය.

ඔබ මිය යාමට ප්‍රථම නැරඹිය යුතු ස්වාභාවික ආශ්චර්යයන්

 



 ඇරිසෝනාවේ මහා කැණියම/ Grand Canyon (ඇරිසෝනා ප්‍රාන්තය, ඇමරිකා එක්සත් ජනපදය)


Grand Canyon on Fotopedia


යුනෙස්කෝ සංවිධානය විසින් ලෝකයේ ස්වාභාවික පුදුම හත ලෙස පහත සඳහන් ස්ථාන නම් කර ඇත.


උතුරු එළි/ Aurora Borealis - උත්තර ධ්‍රැවය
මහා කැණියම/ Grand Canyon- ඇරිසෝනා, ඇ. එ. ජ.
පරිකුටීන් ගිනිකන්ද/ Paricutin Volcano- මෙක්සිකෝව
වික්ටෝරියා දිය ඇල්ල/ Victoria Falls- සැම්බියාව/ සිම්බාබ්වේ
එවරස්ට් කඳු ශිඛරය/ Mount Everest - නේපාලය/ ටිබෙටය
මහා බාධක පරය/ Great Barrier Reef- ඕස්ට්‍රේලියාව
රියෝ ද ජැනයිරෝ වරාය/ Harbor of Rio de Janeiro- බ්‍රසීලය ඒ අනුව ඇරිසෝනාවේ මහා කැණියම ලෝකයේ ස්වාභාවික ස්ථාන අතරින් අද්විතීය ස්ථානයක් හිමි කර ගැනීමට සමත්වී ඇත. කොළරාඩෝ ගංගාවේ ජලාපවහන පද්ධතිය විසින්, කොළරාඩෝ සානුව ඛාදනය කරමින් නිර්මාණය කර ඇති මහා කැණියමේ ගැඹුර කිලෝ මීටර 1.6ක් වන අතර පලල හැතැප්ම 18කි. මෙය ලෝකයේ ගැඹුරුම හෝ පලලම කැණියම නොවූවත්, අතිශය සංකීර්ණ සහ අලංකාර ලෙස සුවිසල් ප්‍රදේශයක් පුරා පැතිර පවතින, පෘතුවියේ සම්භවය වර්තමානයට දැක බලා ගැනීමට විවෘතව ඇති ද්වාරයකි.

දිනයේ ප්‍රථම වරට සූර්යය කිරණ පොළව සිප ගන්නා හිමිදිරි උදෑසන රන්- රිදී පැහැයෙන් බබළන කැණියම් පද්ධතිය, ආලෝකය තදින් පතිත වන මධ්‍යහ්නයේදී දුඹුරු පැහැයෙන් දිස් වේ. හිරු බැස යන සැඳෑවේ තද ලෝහිත පැහැ සළුවක් පොරවගන්නා කැණියම, සඳු නැග ඒමත් සමඟ චන්ද්‍ර කාන්තිය වැදී නීල වර්ණයට හුරු දම් පැහැයෙන් බබළයි. භූ විද්‍යාඥයින් විසින් මේ තාක් ලොව වැඩි වශයෙන්ම අධ්‍යයනය කරන ලද ප්‍රදේශයක් වේද, ඒ ඇරිසෝනා හි, මහා කැණියමයි. වසර බිලියන 2ක අතීතයක තොරතුරු සපයන මහා කැණියමේ පාෂාණ ස්ථර තුලින් පෘතුවිය විසින් මෙතෙක් පසු කල භූ ගෝලීය යුග හතරෙන්, තුනක්ම මනාව පිළිබිඹු වේ. අර්ධ ශුෂ්ක පරිසරයක පිහිටා ඇති කැණියම් පද්ධතියේ දර්ශනීයවූත් මහේශාක්‍යයවූත් දසුන පරයා නැගී සිටින්නේ එහි සුවිසල් විද්‍යාත්මක වටිනාකමයි. පෘතුවිය මේ තාක් පසු කරන ලද භූ ගෝලීය යුග මෙසේයි.

ප්‍රාග් කේම්බ්‍රියානු යුගය- (වසර බිලියන 4.6- මිලියන 600කට පෙර) සාගර නිර්මාණය, පෘතුවි වායු ගෝලය නිර්මාණය සහ ජීවයේ සම්භවය සිදු වූවා යැයි සැලකෙන්නේ ප්‍රාග් කේම්බ්‍රියානු යුගයේදීයි.
පේලියෝසොයික්- (වසර මිලියන 600- මිලියන 225කට පෙර) කටුව සහිත මුහුදු ජීවීන්ගේ සිට මත්ස්‍යයින්, උරගයින්, කෘමීන්, උභය ජීවීන්, මීවන ශාක සහ කේතුධර ශාක දක්වා ජීවය පරිණාමය වූ ආකාරය පෙන්නුම් කරයි.
මිසෝසොයික්- (වසර මිලියන 225- මිලියන 65කට පෙර) ඩයින්සෝරයන් බිහිවීම, ආදී කාලීන පක්‍ෂීන්, ඉබ්බන්, කිඹුලන්, කටුස්සන්, වානරයන්, සර්පයන් මෙන්ම මල් හට ගන්නා ශාකද බිහි වූයේ මෙම යුගයේ බව සැලකෙයි.
සෙනෙසොයික්- (වසර මිලියන 65- වර්තමානය) ක්‍ෂීරපායින් බිහි වීම, වසර 125,000 කට පෙර මිනිසා බිහි වීම (ඉන් පෙර සාධක හමු වී නැත), වසර 10,000 කට පෙර අවසන් හිම යුගයෙන් පසු මිනිස් ජනාවාස පෙරට ඒම. මෙවන් සුවිසල් ඉතිහාසයක තතු අනාවරණය කරනා මහා කැණියම නියත වශයෙන්ම ආශ්ර්යයකි. මහද්වීපික තල එකිනෙක ගැටීම හේතුවෙන් කොළරාඩෝ සානුව අයත් භූ තලය ඉහලට එසැවීමෙන් කොළරාඩෝ සානුව නිර්මාණය විය. සානුවක් යනු උස් සම භූමියකි. වසර මිලියන 17කට පෙර සානුව මතින් කොළරාඩෝ ගංගාව තම ගමන් මාර්ගය ස්ථාපිත කරගත්තේය. කොළරාඩෝ ගංගාව පෝෂණය කරනා අතු ගංගාවන්ද පසුව සානුව මතින් ගලා විත් කොළරාඩෝ ගංගාවට එකතු විය. මෙසේ වසර මිලියන 17 ක සිට වර්තමානය දක්වා ගංගාවේ ජල පහරට සානුව ඛාදනය වී ගංගාවේ ගමන් මාර්ගය සානුව මතු පිට සිට කිලෝ මීටර 1.6ක් ගැඹුරට ගියේය. එනම් මීට වසර මිලියන 17කට පෙර සානුව මතින් ගැලූ ගංගාව අද ගලන්නේ සානුවේ මතු පිට සිට කිලෝ මීටර 1.6ක් පහලින්ය. ගංගා මාර්ගය දෙපස ඇත්තේ කි.මී. 1.6ක් අහස උසට විහිදුනු ලම්භාකාර ප්‍රපාතයන්ය. මෙසේ කොළරාඩෝ ගංගාව කිලෝ මීටර 446ක කැණියමක් නිර්මාණය කරමින් ගමන් කරයි. එලෙසම ගංගාවට ජලය සපයන අතු ගංගාද හාත් පස පරිසරය ඛාදනය කරමින් ප්‍රධාන කැණියමට අමතරව කැණියම පද්ධතියක් නිර්මාණය කර ඇත. සානුව මතු පිට සිට එනම් මහා කැණියම ගැට්ටේ සිට පහල බලන ඔබට දැකිය හැක්කේ කිලෝ මීටර 1.6ක් පහලින් නූලක් ආකාරයෙන් ගලනා කොළරාඩෝ ගංගාවයි.

කි.මී. 1.6 උස කැණියම බිත්ති ප්‍රධාන පාෂාණ ස්ථර තුනකින් සමන්විත වේ. පහලම ස්ථරය සමන්විත වන්නේ වසර බිලියන දෙකක් පැරණි "විෂ්ණු ශිස්ට්" නම් පතුරු ගල් විශේෂයකින් වන අතර ඉහලම ස්ථරය සෑදී ඇත්තේ කෛබාබ් නම් හුණු ගල් විශේෂයකිනි. ඇමෙරිකා එක්සත් ජනපදයේ දක්නට ඇති පිරිසිදුම වායුගෝලයක් ඇති ස්ථාන කිහිපය අතුරින් මහා කැණියම විශේෂ වේ. කැණියම ආශ්‍රිත උෂ්ණත්වය, උන්නතාංශය අනුව වෙනස් වේ. කැණීයමේ ඉහල උසකින් පිහිටා ඇති ස්ථානයන්හි උෂ්ණත්වය පහල උන්නතාංශයට වඩා අඩුය. ශීත කාලයේදී ඉහල උන්නතාංශයන්හි හිම පතිත වේ.

විවිධ පරිසර පද්ධතිවලින් හෙබි මහා කැණියම ජෛව විවිධත්වය අතින්ද සුවිශේෂ වේ. කුරුළු විශේෂ 355ක්ද, ක්‍ෂීරපායී විශේෂ 89ක්ද, උරග විශේෂ 47ක්ද, උභය ජීවී විශේෂ 9ක්ද සහ මත්ස්‍යය විශේෂ 17ක්ද දැකිය හැක. ලෝක උරුමයක් වන මහා කැණියම මුළු ලෝකවාසීන්ටම ස්වාභාව ධර්මය විසින් ලබා දුන් දායාදයකි.

අභ්‍යවකාශයේදී විදුලිය නිපදවා පොලොවට සම්ප්‍රේශණය කිරීමට සැරසේ


අභ්‍යවකාශයේදී විදුලිය නිපදවා පොලොවට සම්ප්‍රේශණය කිරීමට සැරසේ





නාසා ආයතනයේ සූර්ය විදුලි ජනක චන්ද්‍රිකාව


වේගයෙන් වර්ධනය වන ලෝක බලශක්ති අවශ්‍යතාවයට පිලියමක් වශයෙන් අභ්‍යවකාශයේදී සූර්ය ශක්තියෙන් විදුලිය නිපදවා එම විදුලිබලය මයික්‍රෝ-වේව් තරංග බවට පරිවතනය කොට පොලවට සම්ප්‍රේශණය කිරීමේ තාක්ශණයක් නාසා ආයතනය නිර්මාණය කරමින් පවතින බව වාර්තාවේ.


හිටපු නාසා ඉන්ජිනේරුවකු වන ජෝන් මැන්කින්ස් විසින් නිර්මාණය කරන ලද මේ තාක්ශණය වැඩිදියුණු කොට ප්‍රායෝගිකව භාවිතා කල හැකිදැයි සොයා බැලීම සඳහා මැන්කින්ස්ට අයත් Artemis Innovation Management Solutions නම් සමාගමට මුදල් ප්‍රධානයක් ලබාදී තිබේ. නාසා ආයතනයේ මිනිසුන් රහිත අභ්‍යවකාශ ගවේශණ නිර්මාණය හා පාලනය කිරීම් සිදුකරන "Jet Propulsion Laboratory (JPL)" හි විසිපස් වසරක සේවාවක අත්දැකීම් ඇති මැන්කින්ස් පවසන ආකාරයට ඔහු විසින් නිර්මාණය කරමින් පවතින මේ අභ්‍යවකාශ බලශක්ති තාක්ශණය අභ්‍යවකාශයේදී බලශක්තිය නිපැදවීමේ ලොව පලමු ප්‍රායෝගික තාක්ශණය වනවා.


Solar Power Satellite via Arbitrarily Large PHased Array හෙවත් SPS-ALPHA ලෙස හඳුන්වන මෙය අභ්‍යවකාශයේ ස්ථායි කක්ශයක (Geo-stationary orbit) ගමන් කරන විශාල චන්ද්‍රිකාවක් වනවා. වයින් වීදුරුවක හැඩයක් ගන්නා මෙහි දර්පණවලට වැටෙන ආලෝකය ඇතුලතින් ඇති සූර්ය කෝශ වලට යොමුකරවන අතර එම සූර්ය කෝශ මගින් හිරුඑලිය විදුලිය බවට හරවා, ඉන් අනතුරුව එම විදුලිය මයික්‍රෝ-වේව් (ක්ශුද්‍ර තරංග ) බවට හරවා පොලොවේ ඇති ග්‍රාහක ඇන්ටෙනා වලට සම්ප්‍රේශණය කිරීමට බලාපොරොත්තු වෙනවා.


මෙම චන්ද්‍රිකාවේ දර්පණ තනා ඇත්තේ වීදුරුවලින් නොව ඉතා තුනී පරාවර්තක පටල (thin film mirrors) වර්ගයකිනි. ඉතා විශාල චන්ද්‍රිකාවක් වන මෙය කොටස් වශයෙන් අභ්‍යවකාශගත කොට අභ්‍යවකාශයේ එකලස් කිරීමට බලාපොරොත්තුවේ.

ජලය ගැන ඔබ නොදන්නාදේ


ජලය ගැන ඔබ නොදන්නාදේ [What you dont know about water]



ජලය යනු ජීවයේ උල්පතයි. අප දන්නා පරිදි ජීවය පැවතීමට ජලය අත්‍යාවශ්‍යය. ජලය නොමැති තැන ජීවයද නැත. එසේ වන්නේ ඇයි? ජලය යනු පුදුමාකාර ලෙස ජීවය පවත්වාගෙන යාමට අවශ්‍ය ගතිගුණ සියල්ලකින්ම සපිරි රසායණික ද්‍රව්‍යයකි. ජීවයේ පෝශණය සඳහා අවශ්‍ය පෝශක ද්‍රව්‍ය ද්‍රාවණය කර අවශෝෂණය කරගැනීමට, ජීවයේ පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය රසායන ද්‍රව්‍ය ප්‍රවාහණයට, අපද්‍රව්‍ය බැහැර කිරීමට වැනි ජීව ක්‍රියා සඳහා ජලය මෙන් සුදුසු මාධ්‍යයක් තවම විද්‍යාඥයින් හට හමුවී නොමැත.







ජලය සතු තවත් විස්මිත ගුණාංගයක් පෘථිවියේ ජීවය බිහිවීමට උපකාරී විය. එම විස්මිත ගුණය නොවන්නට මිහිතලය මත ජීවය රැඳී පවතින්නට ඉඩ නොතිබුණි. ජලය සතු මේ විස්මිත ගුණාංගය නම් ශීතල වී ඝණීභවනය වුනු අවස්ථාව ද්‍රව අවස්ථාවට වඩා ඝණත්වයෙන් අඩු එකම රසායනික ද්‍රව්‍යය ජලය වීමයි.

මේ ගුණය පෘථිවියේ ජීවයේ පැවැත්මට මෙතරම් වැදගත් ඇයි? පෘථිවිය මත ජීවය බිහිවූයේ සාගර තුල බව අවිවාදයෙන් පිලිගැනෙයි. ජලය තුල බිහිවුනු ශාක මෙන්ම ජීවීන්ද කෙමෙන් කෙමෙන් ගොඩබිම ජීවිතයට හුරුවූහ. ජීවය සාගර තුල ආරම්භවී එය ගොඩබිම කරා පැතිරෙන්නට වසර බිලියන ගණනක් ගතවිය. දැනට විද්‍යාඥයින් විශ්වාස කරන අන්දමට පෘථිවිය කලින් කලට, එනම් වසර ලක්ශයකට පමණ වරක් අයිස් යුගයක ගිලෙයි. අවසාන අයිස් යුගය මීට වසර 10,000කට පමණ පෙර අවසන් විය. ජීවය ජලයේ පමණක් තිබූ වසර බිලියන ගණන තුල පෘථිවිය අයිස් යුග ගණනාවක් පසුකරන්නට ඇත.




දැන් අපි ජලයේ මේ සුවිශේෂී ගුණය වය ඝනීභවණය වුනු ජලය (අයිස් ) ද්‍රව ජලයට වඩා සැහැල්ලු (ඝණත්වයෙන් අඩු ) වීමේ ගුණය ගැන සිතමු. මේ ගුණය නිසා අයිස් ජලය මත පාවේ. මේ නිසා අධික ශීතලක් පැවතියද මුහුදු ජලය සම්පූර්ණයෙන් මිදී නොයයි. මේ නිසා සදාකාලිකව හිමෙන් වැසී ඇති උත්තරධ්‍රැවයේ පවා ඝණ අයිස් තට්ටුවට යටින් නොමිදුනු සාගර ජලය ඇති අතර ජලජ ජීවීන් එම ශීත ජලයට හොඳින් අනුවර්තනය වී සිටී.

යම් හෙයකින් අයිස්, ජලයට වඩා ඝණත්වයෙන් වැඩිවූවානම් අයිස් වන ජලය මුහුදු පතුලට කිඳා බසින අතර නැවත ජලයේ උඩ පෘශ්ටය නැවත අයිස් වෙයි. මෙලෙස නිරන්තරයෙන් අයිස් කිඳා බැසීම හා නොමිදුනු ජලය වායුගෝලයට නිරාවරණය වීම නිසා මුලු සාගරයම පතුලේ සිට මතුපිටටම අයිස් බවට පත්වී මිදී යයි. එසේ වූවානම් පෘථිවියේ ජීවය ගොඩබිම ජයගන්නටත් පෙර විනාශවී යන්නට ඉඩ තිබුණි.















ගුවන්යානා ගෙනයන USS Nimitz නෞකාවේ ගුවන්යානා මෙහෙයුම්


ගුවන්යානා ගෙනයන USS Nimitz නෞකාවේ ගුවන්යානා මෙහෙයුම්


USS Nimitz යනු අමෙරිකානු නාවුක හමුදාවට අයත් විශාලතම ගුවන් යානා ගෙන යන නෞකාවලින් එකකි. මෙම නෞකාව නම් කොට ඇත්තේ දෙවන ලෝක මහා සංග්‍රාමයේදී අමෙරිකානු පැසිෆික් නාවුක බලකායේ අණදෙන නිළධාරීව සිටි අද්මිරාඅල් චෙස්ටර් නිමිට්ස් සිහිවීම සඳහාය. නිමිට්ස් නෞකාවේ විශාලත්වය නිසාම එය වෙනම නෞකා ගණයක් ලෙස (class of ships) නම්කරන ලද අතර එම ගණය නිමිට්ස් නෞකා ගණය (Nimitz Class) ලෙස හැඳින්වේ.


නිමිට්ස් ගණයේ ගුවන්යානා ගෙනයන නෞකා 10ක් මේ වන විට සේවයේ යෙදී සිටින අතර එම නෞකා ලැයිස්තුව පහත දැක්වේ.

1. USS Nimitz (CVN-68)
2. USS Dwight D. Eisenhower (CVN-69)
3. USS Carl Vinson (CVN-70)
4. USS Theodore Roosevelt (CVN-71)
5. USS Abraham Lincoln (CVN-72)
6. USS George Washington (CVN-73)
7. USS John C. Stennis (CVN-74)
8. USS Harry S. Truman (CVN-75)
9. USS Ronald Reagan (CVN-76)
10. USS George H.W. Bush (CVN-77)


ටොන් 100,000ක් බරැති USS Nimitz Class නෞකා , ගුවන්යානා 90ක් ගෙනයා හැකි දැවැන්ත පාවෙන ගුවන්හමුදා කඳවුරකි. මෙම නෞකා 10ය එක්ව ගත්කල විවිධ වර්ගයේ යුධ ගුවන් යානා 900ක් ලොව ඕනෑම පෙදෙසකට යැවීමේ හැකියාව අමෙරිකන් නාවුක හමුදාවට ලැබී ඇත.



USS Nimitz (CVN 68)



Nimitz ගණයේ නෞකාවල F/A-18 Hornet ජෙට් යානා ගුවන්ගත කිරීමේ හා ගොඩබෑමේ මෙහෙයුම්






TAKEOFF



ගුවන් ගත කිරීමට කලින් සිදුකරන පෙර පරීක්ශාව




** ගුවන්ගත කිරීමට මොහොතකට පෙර... යානයේ තටුව යට සිටිමින් හුමාල කැටපෝලය ක්‍රියාත්මක කිරීමට සඥා කරණ නැවියා shooter ලෙස හැඳින්වේ...

** මේ මොහොතේදී ජෙට් යානාවේ එන්ජින්, ආර්ෆ්ටර් බර්නර් ආධාරයෙන් උපරිම පීඩනයෙන් (maximum thrust) ක්‍රියාත්මක වෙයි. මීට අමරතව නෞකාවේ ඇති steam catapult නම් උපකරණයක් යානයේ ඉදිරිපස රෝදවලට අමුණා ඇති අතර මෙම උපකරණයෙන් ක්‍රියාකාරිත්වය වන්නේ හුමාල බලයෙන් ක්‍රියාත්මක වෙන අධිසම්පීඩිත පිස්ටනටකින් යානාව වේගයෙන් ධාවන පථය මතින් ඇදගෙන ගොස් ධාවන පථය කෙලවරදී නිදහස් කිරීමයි. කැටපෝලයකින් ගලක් විදින්නාක් මෙන් ගුවන් යානය ඉදිරියට වීසි කරන අයුරින් ක්‍රියාත්මක වන නිසා එම උපකරණය steam catapult ලෙස නම්කොට ඇත. මෙම උපකරණය නෞකාවේ තට්ටුවට (flight deck) යටින් සකසා ඇත. ජෙට් එන්ජින් උපරිම පීඩනයෙන් ක්‍රියාත්මක වෙතත් අවි ආයුධ හා බෝම්බ සමග ටොන් 16ක් බර හෝර්නට් යානයක් ඉතා කෙටි ධාවන පථයෙන් සාර්ථකව ගුවන් ගතවීමට අවශ්‍ය වේගය ලබාදීමට එන්ජින් පීඩනය අසමත් නිසා අමතර වේගයක් ලබාදීමට හුමාල කැටපෝල උපක්‍රමය සකස්කොට ඇත.



හුමාල කැටපෝලය යානය ධාවන පථය දිගේ වේගයෙන් ඉදිරියට ඇදගෙන යන අතර එන්ජිම ආෆ්ටර්බර්නර්ද සහිතව උපරිම පීඩනයෙන් ක්‍රියාත්මක වේ...



ධාවන පථය අවසන්වන විටම යානය ඉහලට එසවෙමින් ඇත. මේ මොහොතේදී එහි වේගය මදක් හෝ අඩුනම්, එය මුහුදට කඩා වැටෙනු ඇත.


යානය සාර්ථකව ගුවන්ගත වේ...






LANDING



යානය ගොඩබැස්සවීම සඳහා රෝද පහත්කොට ඇති අතර, එහි arrester hook නම් ඇමිණුම් කොටසද පහත්වී ඇති අයුරු ඔබට පෙනේ.


යානය ධාවන පථයේ ගැටෙන්නට මොහොතකට පෙර


ධාවන පථයේ තිරස් අතට එලා ඇති නම් වානේ කේබලය ඔබට දකින්නට හැකිය. යානයේ පිටුපස ඇති arrester hook ඇමිණුම් කොක්ක මෙම කේබලයේ ඇමිණීමෙන් යානයේ ධාවන පථය මත නවත්වා ගනු ලැබේ. මෙවනි arrester hooks 3 හෝ 4ක් ධාවන පථය මත ඇති අතර මේ සියලු කේබල් කොකුවට මගහැරුණහොත් යානය නැවතත් ගුවනට ගැනීම සඳහා එන්ජිම උපරිම පීඩනයෙන් ක්‍රියාත්මක කරවයි.


යානයේ arrester hook ඇමිණුම් කොක්ක arrester කේබලයක ඇමිණෙන අයුරු...


යානයේ වේගය ක්‍රමාණුකූලව පාලනය කිරීම සඳහා කේබලය මදක් දිගහැරෙන ලෙස සකසා ඇත. යානය කේබලයක ඇමිණුන වහාම නියමුවා එන්ජිම නිවාදමයි.

Plan X : පෙන්ටගනයේ සයිබර් යුධ සැළස්ම


Plan X : පෙන්ටගනයේ සයිබර් යුධ සැළස්ම



අමෙරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය පසුගිය සතියේදී සිය සයිබර් යුධ සැළසුමේ පිඹුරුපත ඉදිරිපත් කලා. ප්ලෑන් X ලෙස නම් තබා ඇති මෙය නිර්මාණය කොට ඇත්තේ පෙන්ටගනයට අනුබද්ධ පර්යේෂණ හා යුධ තාක්ශණය දියුණුකිරීමේ ආයතනය වන ඩාර්පා ආයතනයයි. අන්තර්ජාලයේ පුරෝගාමී පරිගණක ජාලය වන "ආර්පානෙට්" ජාලය නිර්මාණය වූවේත් ඩාර්පා ආයතනයේ පර්යේෂණ ව්‍යාපෘතියක ප්‍රථිපලයක් වශයෙනුයි.

සයිබර්ස්පේස් හෙවත් සයිබර්-අවකාශය දැනටමත් යුධ කළාපයක් වී ඇතැයි සඳහන් කරන පෙන්ටගනය ප්ලෑන් X හි අරමුණ මෙම සයිබර්-අවකාශ යුධ කළාපයේ අමෙරිකානු ආධිපත්‍යය රඳවා ගැනීමයි. පසුගියදා ඉරාණයේ න්‍යශ්ඨික ව්‍යාපෘතියේ පරිගණකවලට ඇතුළුකරවන ලද - අමෙරිකානු/ඊශ්‍රායක් හවුල් ව්‍යාපෘතියක් ලෙස සැලකෙන් ස්ටක්ස්නෙට් වෛරසය වැනි වෛරස් ප්‍රහාර සතුරු රාජ්‍යයක පරිගණක පද්ධති වෙත ඕනෑම මොහොතක මුදාහැරීම මෙම සැළස්මේ එක් අරමුණක් බව විචාරකයින් පවසනවා.



ස්ටක්ස්නෙට් වෛරසය ක්‍රියාත්මක වන ආකාරය, Source : Trend Micro Antivirus




From Cyber Defense to Cyber Strike


පසුගිය වසර ගණනාව මුළුල්ලේම ඩාර්පා ආයතනයේ සයිබර් ප්‍රහාර පර්යේෂණ අමෙරිකානු යුධමය හා සිවිල් පරිගණක පද්ධති සයිබර්-ත්‍රස්ත ප්‍රහාරයකින් ආරක්ශාකරගැනීමේ ආරක්ශක උපක්‍රම නිර්මාණය කිරීමේ ව්‍යාපෘති ලෙස පැවතුනා. කුප්‍රකට ස්ටක්ස්නෙට් වෛරසය ප්‍රහාරාත්මක ව්‍යාපෘතියක් වුව එය නිර්මාණයට ඩාර්පා ආයතනය දායක වූ බව හෙලිවී නෑ.

එහෙත් ප්ලෑන් X, ඩාර්පා ආයතනයේ ආරක්ශා-මූලික (defensive) සැළසුම්වලින් ඔබ්බට ගොස් ප්‍රහාරාත්මක (offensive) තාක්ශණ යා යුධ සැළසුම් නිර්මාණය කිරීමේ පිඹුරුපතක් වනවා.


Launch a counter-strike at net speed

මේ අනුව ඕනෑම මොහොතක සතුරු රාජ්‍යයක ජාතික අන්තර්ජාල යටිතල ජාලය (national internet backbone), බැංකු පරිගණක පද්ධති, ආරක්ශක අංශවල පරිගණක ජාල, ජාතික දුරකථන ජාලය වැනි මර්මස්ථානවලට විනාශකාරී සයිබර්ප්‍රහාර එල්ල කිරීම සඳහා ක්‍රියාන්විත සැලසුම් (cyberspace strike plans) නිමාණය කොට සූදානමින් තැබීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම ප්ලැන් X නිර්දේශවලට අනුව අමෙරිකානු යුධ සෙනෙවියන් හට සයිබර් අවකාශයේ සිදුවන ප්‍රහාර හා ප්‍රතිප්‍රහාර තථ්‍ය-කාලීනව (real-time) අධ්‍යයනය කල හැකි, නිරන්තරව යාවත් කාලීනවන, සයිබර් අවකාශයේ ඩිජිටර් යුධ සිතියම් (digital battle maps of cyberspace) නිර්මාණය කිරීමටද සැළසුම් කොට තිබෙනවා.

පස් අවුරුදු ව්‍යාපෘතියක් වන මෙය සඳහා ඩොලර් මිලියන 100ක බරපැන වශයෙන් ලබාදී තිබෙනවා.

මෑතක් වන තුරුම අමෙරිකානු යුධ සැළසුම්කරුවන් සයිබර් ප්‍රහාර සඳහා මැළිකමක් දක්වන්නට වූයේ එම ප්‍රහාර ඉලක්ක රාජ්‍යයේ පරිගණක ජාලවලට සීමා කරගත හැකි තාක්ශණයන් එතරම් දියුණු නොවූ බැවිනි. ලොව පුරා ව්‍යාප්ත අන්තර්ජාල සබඳතා නිසා යුධමය වෛරසයක් ඉලක්ක ජාලයෙන් වෙනත් අපක්ශපාතී රටවල් වල පර්ගණක ජාලවලට පැතිරීමේ විශාල අවදානමක් තිබෙනවා.

උදාහරණයක් ලෙස, දෙවන ගල්ෆ් යුද්ධය ආරම්භයේදී ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර බැංකු හා මූල්‍ය පද්ධතිය හා සන්නිවේදන පද්ධතිය වෙත දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ලකොට එය මුළුමණින්ම අඩපණකොට දැමීමට පෙන්ටගනය සැළසුම් කලත්, එම ප්‍රහාර ඉරාකයට සීමා කරගැනීමට නොහැකිවේ යන බිය නිසා එම සැළැස්ම අතහැර දැමුණු බව පැවසෙනවා.

ප්ලෑන් X නිර්දේශ

1. සයිබර් යුධ සටන් සඳහා මූලික රීති මාලාවක් නිර්මාණය කිරිම (rules of engagement for cyber warfare)

2. ප්‍රහාර එල්ල කිරීමට හෝ සතුරු ප්‍රහාර මැඩපැවැත්වීමට හැකි යුධ සැළසුම් නිර්මාණය කිරීම හා එම සැළසුම් වලින් සිදුකල හැකි හානිය පිලිබඳව ඇස්තමේන්තු සකස්කිරීම (preparing battle plans and assessing potential battle damage)

3. සයිබර් ප්‍රහාරවලට ඔරොත්තු දියහැකි මෙහෙයුම් පද්ධති, මෘදුකාංග හා දෘඩකාංග නිර්මාණය කිරීම හා සයිබර් සටන් ක්‍රියාන්විත මෙහෙයවිය හැකි මෘදුකාංග හා දෘඩකාංග නිපදවීම. (operating systems AND software that can withstand the rigors of a full-blown online conflict)

4. සතුරු සයිබර් ප්‍රහාරයක් එල්ලවන විට එයට ස්වයංක්‍රීයව ප්‍රතිප්‍රහාර එල්ලකල හැකි සයිබර් යුධ යන්ත්‍ර නිර්මාණය කිරීම. (hardened ‘battle units’ that can perform cyberwarfare functions such as battle damage monitoring, communication relay, weapon deployment, and adaptive defense)

කඩාවැටුනු යානාවලින් ලැබුණු පිටසක්වල තාක්ෂණය කෝ?


කඩාවැටුනු යානාවලින් ලැබුණු පිටසක්වල තාක්ෂණය කෝ?


පිටසක්වල තාක්ෂණය ගැන කතාකරන බොහෝ අවස්ථාවල මා මිතුරන් මගෙන් අසන පැනයකි......


"කෝ ඔය පිටසක්වල තාක්ෂණය? ඔය කියන තරමේ අවුරුදු දහස්ගණනක් ඉදිරියෙන් තියෙන තාක්ෂණයක් 1940ගණන්වල තරම් ඈතකින් ලැබුණා නම් ඇයි තවමත් ඒ විශ්වකර්ම තාක්ශණය අපිට දකින්නට නැත්තේ?"


මා මිතුරන් නගන්නේ ඉතාම සාධාරණ පැනයකි. මේ පැනය මාගේ උගත් මිතුරන් පමණක් නොව, පිටසක්වල ජීවීන් හා තාක්ෂණය පිලිබඳව සැකයෙන් බලනා විචාර බුද්ධියෙන් යුතු බොහෝ දෙනෙකු අසන පැනයකි. පිලිතුරු දීමද බැලූබැල්මට අපහසුය. පිටසක්වල යානාවල තිබෙනවා යයි විශ්වාස කෙරෙන, විද්‍යා ප්‍රබන්ධ/චිත්‍රපට වලින් ප්‍රසිද්ධ කොට ඇති තාක්ශණයන්ගෙන් සමහරක් නම්;

1] ඉතා නිහඬව ක්‍රියාකරන, ක්ශණයෙකින් අධික වේගයක් (පැයට කිලෝමීටර් 2000 පමණ වේගයක්) ලබාදිය හැකි ප්‍රතිගුරුත්ව එන්ජින්. (anti-gravity drives)

2] අධිකවේගයකින් ගමනේ යෙදෙමින්ම ක්ශණයකින් ගමන් දිශාව වෙනස් කලහැකි වීම.

3] සිතුවිලි මගින් ක්‍රියාත්මක වෙන යානයේ පාලන උපකරන

4] පුලුන් මෙන් සැහැල්ලු, එහෙත් වානේ මෙන් සියගුණයක් ශක්තිමත් ද්‍රව්‍ය - පිටසක්වල යානා වල සැකිල්ල හා පෘශ්ඨය තනා ඇත්තේ මෙවැනි ද්‍රව්‍ය වලින් බව කියවේ

5] කැපුමක් හෝ වෙනයම් ලෙසකින් ඉරී ගියවිට ස්වය්ංක්‍රීයව නැවත ප්‍රකෘති තත්වයට පත්වෙන ද්‍රව්‍ය (මෙවැනි ද්‍රව්‍ය self-healing materials ලෙස හඳුන්වනු ලැබේ. පිටසක්වල යානා වලින් මෙවැනි ද්‍රව්‍ය හමුවී තිබේ.

6] සිතාගත නොහැකි අන්දමේ විස්මිත ඉලෙක්ට්‍රොනික මෙවලම් හා පරිගණක

7] ලේසර් හෝ වෙනත් කිරණ අවි-ආයුධ (beam weapons / directed energy weapons)
මේ තාක්ෂණයන්ගෙන් කිසිවක් නූතන ලෝකයේ වෙසෙන අපට දකින්නට තිබේද?


නැත.


ලොව විශිඨතම හමුදා ඛන්ඩයන් ලෙස ගැනෙන අමෙරිකානු ඩෙල්ටා-ෆෝර්ස් හෝ නේවී-සීල් කොමාන්ඩෝ භටයින් භාවිතා කරන, බින් ලාඩන් හට වෙඩි තැබුවා යයි කියන Heckler & Koch HK416 ඇසෝල්ට් රයිෆලයත්, අපේ දේශීය ගල්කටස් තුවක්කුවත්, මුල්වරට යුධ බිමේදී අත්-තුවක්කු භාවිතා කලබවට වාර්තාවන 1364 වසරේ එන්ගලන්තයේ තුන්වැනි එඩ්වඩ් රජ්ජුරුවන්ගේ හමුදා භාවිතා කල බේත් කොටන තුවක්කුත් අතර මහා තාක්ශණික විප්ලවයක් නැත. ක්‍රියාත්මක වන්නේ එකම මූළධර්මයකට අනුවය. එය කිතු උපතටත් පෙර චීනුන් සොයාගත් තාක්ශණයකි.


1980 ගණන්වල අප පාසැල් යන කාලෙයේ ජාතික රූපවාහිනියෙන් විකාශනය කල, අප ආශාවෙන් නැරඹූ බැට්ල්ස්ටාර් ගැලැක්ටිකා විද්‍යාප්‍රභන්ධයේ හා ස්ටාර්-වෝර්ස් චිත්‍රපටවල අප දුටු ලේසර් තුවක්කු දැන් අවුරුදු 30ක් ගෙවිලාත් තවම දකින්නට නැත. කිරණ අවි වලින් ප්‍රහාර එල්ලකරනා ප්‍රහාරක යානාද තවම නැත.


සිතුවිලි මගින් පාලනය වන පරිගණක හා මෙවලම් පර්යේෂණාගාර කිහිපයක ඇති බව විද්‍යාසඟරා හා වෙබ් අඩවිවල පලවී ඇති ප්‍රවෘත්තිවලින් කියවෙතත් ඒවා තවමත් විද්‍යාගාරවලය. ආතර් සී ක්ලාක් විද්වතානන්ගේ 2001 විද්‍යාප්‍රබන්ධයේ සිටිනා HAL2000 කතාකරන, සිතන්නට හැකි, මිනිස් භාශාව තේරුම් ගන්නට හැකි පරිගණක පොදුභාවිතයේ තවමත් නැත. යන්තමින් හෝ ආසන්නයට ගත හැක්කේ Apple iPhone 4S ස්මාර්ට්-ෆෝනයේ "සිරී" නමින් හඳුන්වන මිනිස් කටහඬ හඳුනාගෙන ප්‍රතික්‍රියාකිරීමේ මෘදුකාංගය පමණකි.

අමෙරිකාවට 1950වනවිට ක්‍රියාකාරිත්වයේ ඇති පිටසක්වල යානා එකක් හෝ කිහිපයක් තමන් සතුකරන්නට හැකිවූ බව පැවසේ. එම යානාවල ඇති ප්‍රති-ගුරුත්ව එන්ජින් ගලවා පරික්ශාකරන්නට අමෙරිකන් විද්‍යාඥයින්හට හැකිවෙන්නට ඇත. එහෙත් මේ තාක්ශණික නිධානවලින් ලැබූ දෙයක් නැති තරම්ය.

ගැටලුව කොතරම් බැරෑරුම්ද යත් අමෙරිකාවේ නාසා ආයතනයට 2011වසරේ ශටල් යානා විශ්‍රාම ගැන්වීමෙන් පසු අභ්‍යවකාශගාමියෙකු උඩුගුවනට යවාගන්නට අභ්‍යවකාශයානයක් හෝ රොකට්ටුවක් නැත.

~ සැබැවින්ම නැත ~ ඇත්තේ මුදල් ගෙවා ගමන් වෙන්කරගත යුතු රුසියානුවන්ගේ යල්පැන ගිය සෝයුස් රොකට්ටු පමණකි. කොතරම් ලැජ්ජාවක්ද?

කොතැනක හෝ ලොකු අවුලක් ඇත.

සැබැවින්ම පිටසක්වලයින්ගෙන් ලැබුණා යයි කියනා තාක්ශණය කෝ?


මේ පැනයට මා ලබාදෙන පිලිතුර මා විසින් වසර ගණනාවක් මේ ගැටලුව පිලිබඳව කියවා අවබෝධකරගත් කරුණු මත පදනම් වූවකි. මේ සඳහා පොත්-පත් ගණනාවක් හා වෙබ් අඩවි සියගණනක තොරතුරු ගවේෂණය කරන ලදී. එහෙත් ඒ සියල්ල අතරින් මාගේ නිගමනවලට විශාල රුකුලක් ලබාදුන් පොතක් ඇත. ඒ 1997 ප්‍රකාශයට පත් කරන ලද අමෙරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුවේ විදෙස් තාක්ශණික අංශයේ (Department of Defense - Foreign Technology Division) කර්නල් නිළයක් දැරූ ෆිලිප් කෝසෝගේ "ඩේ ආෆ්ටර් රොස්වෙල්" නම් පොතයි. පිටසක්වල තාක්ශණය ප්‍රති-ඉන්ජිනේරුකරනය කොට (reverse engineered) ඒවා අමෙරිකාවේ සමාගම් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ෆිලිප් කෝසෝ ඉතා විශ්වාසනීය අන්දමට විස්තර කරයි. Philip Corso - Day After Roswell, 1997 ** මෙම සම්පූර්ණ පොත මෙම සබැඳියෙන් ඩවුන්ලෝඩ් කරගත හැකිය. **

සැ: යු: ෆිලිප් කෝසෝ බොරුකාරයෙකු බවත්, ඔහු ලියා ඇත්තේ ප්‍රබන්ධයක් බවටත් ප්‍රභල මතයක් පවතී. ඔහු දැන් ජීවතුන් අතර නොමැත.පිටසක්වල තාක්ෂණයේ ඇසුරින් මිනිස් තාක්ෂණයේ විප්ලවීය වෙනසක් සිදුවී ඇති බව නොපෙනෙන්නේ ඇයි?

මෙම පැනයට පිලිතුරු මා විසින් නිර්මිත නිගමන 4කින් ලබාදිය හැකිය. මේ එක් එක් නිගමනය හැකිතාක් සරලව විස්තරකොට ඇත.


නිගමනය 1 : පිටසක්වල තාක්ෂණය කෙතරම් ඉදිරියෙන් ඇතිද යත් මෙම යානාවලින් හමුවුනු තාක්ෂනයේ ක්‍රියාකාරිත්වය හා මූළධර්ම හරිහැටි වටහා ගැනීමට වසර 50කට පසුවත් තවම විද්‍යාඥයින් හට නොහැකිය.

නිගමනය 2 : සමහර තාක්ෂණයන් පොදු භාවිතය සඳහා නිදහස් කිරීම ආරක්ශක හා ව්‍යාපාරික හේතු නිසා නොහැකිය.

නිගමනය 3 : පිටසක්වල යානයකින් හමුවූ තාක්ශණයක උපකාරයෙන් මහා නිර්මාණයක් කල විදාඥයෙකු හෝ පර්යේශක කණ්ඩායමක් කිසි දිනෙක තමන්ගේ සොයාගැනීම කඩා වැටුනු පියාඹන පීරිසියකින් තමන්ට ලැබුනු කැබැල්ලකින් උකහාගත්, එනම් කොපිකරගත් එකක්යයි ලොව ඉදිරියේ පවසා තමන්ට ලැබූ ඇති නම්බුනාම හා නොබෙල් තෑග්ග වැනි ත්‍යාග හා පිලිගැනීම් නැති කරගැනීමට කිසිසේත් නොකමැති වීම.

නිගමනය 4 : දැනටත් නිදහස් කොට ඇති තාක්ශණය පිටසක්වල තාක්ශණය යයි හඳුනා ගත නොහැකි වන ලෙස සැකැස්වූ ක්‍රමවේදයකින් නිදහස් කොට ඇත.

පලමුවැනි නිගමනය සලකමු : පිටසක්වල තාක්ෂණය කෙතරම් ඉදිරියෙන් ඇතිද යත් මෙම යානාවලින් හමුවුනු තාක්ෂනයේ ක්‍රියාකාරිත්වය හා මූළධර්ම හරිහැටි වටහා ගැනීමට වසර 50කට පසුවත් තවම විද්‍යාඥයින් හට නොහැකිය.සරල උදාහරණයක් ගනිමු. පිටසක්වල තාක්ශණය වසර 1000ක් පමණ ඉදිරියෙන් ඇතැයි පැවසේ.

අපි මෙසේ උපකල්පණයක් කරමු. අද දවසේ අධිතාක්ශණික මෙවලමක් ලෙස සැළකිය හැකි ඇපල් අයිෆෝන් 4S ජංගම දුරකථනයක් 1900වසරේ විද්‍යාඥයින් හට ලැබුණා යයි සිතන්න. එනම් ඔවුනට ලැබී ඇත්තේ වසර 110ක අනාගත තාක්ශණයකි.

1900 වසරේ විද්‍යාඥයින්, අද දවසේ අපේ සාක්කුවල තිබෙන අයිෆෝන් තාක්ශණය කෙසේ තේරුම් ගනියිද?


එය රැහැන් රහිත ජංගම දුරකථනයකැයි ඔවුන් කිසිසේත් සිතයිද? ගැහැම් බෙල් ටෙලිෆෝනය නිර්මාණය කොට (1876) ඒ වනවිට යන්තම් වසර 24ක් පමණි. පොදු දුරකථන සේවා අමෙරිකාවේ හෝ බ්‍රිතාන්‍යයේ ප්‍රචලිත වී නොමැත. අමෙරිකානු දුරකථන සේවාවේ දැවැන්තයා වුනු AT & T සමාගම බිහිවන්නේද 1885දීය. අමෙරිකාව් පුරා දුරකථන කේබල් ඇද සාමාන්‍ය ජනයාට දුරකථන ගෙන ආවේ AT & T සමාගමයි.

තත්වය එසේ වූවිට, කොතරම් බුද්ධිමත් වූවත් 1900 කාලයේ ජීවත්වූ ඉතාම දක්ශ විද්‍යාඥයෙකුට පවා රැහැන් රහිත දුරකථනයක් යන සංකල්පය තේරුම් ගත හැකිවේද? රැහැන් රහිත ගුවන් විදුලිය (අප පැරණි ජනවහරේ එන වෑරලස් රේඩියෝව) එකල පෙට්ටගමක් මෙන් විශාල යන්ත්‍රයකි. සාක්කුවේ ගෙනයා හැකි ට්‍රාන්සිස්ටර් රේඩියෝව නිපදවූයේ 1954දීය. ප්‍රචලිත වුයේ 1955දී සෝනි සමාගම හඳුන්වාදුන් TR-55 පොකට් රේඩියෝවෙනි.


එපමණක් නොව, අයිෆෝනය තුල ඉතා බලසම්පන්න පරිගණකයක් ඇත. 1900කාලයේ විද්‍යාඥයින් පරිගණක ගැන අසා නැත. චාර්ල්ස් බැබේජ් සිය analytical engine නම් යාන්ත්‍රික පරිගණකයේ නිර්මාණකටයුතු සිය මරණය සිදුවූ 1871 වන විටත් අවසන් කොට තිබුනේ නැත.


වැකුම් බට (vaccume tubes) 17468ක්, හා ක්‍රිස්ටල් ඩයෝඩ 7200කින් ක්‍රියාත්මක, ඔබේ අතේ බඳින ඩිජිටල් ඔරලෝසුව තරම් වත් ගණන බලයක් (computing power) නොමැති ENIAC නම් යෝධ පරිගණකය බිහිවන්නේද 1947 වසරේය. ට්‍රාන්සිස්ටරය සොයාගන්නේද එම කාලයේමය, එනම් 1900ට වසර 50කට පසුවය. සංගෘහිත පරිපථයේ ප්‍රායෝගික යෙදුම්ද වසර 50ක් ඉදිරියෙන් 1950 ගණන්වල බිහිවෙයි. ට්‍රන්සිස්ටර් යොදාගත් පලමු පරිගණකය බිහිවෙන්නේ 1957 වසරේ බ්‍රිතාන්‍යයේ මැන්ච්ස්ටර් විශ්වවිද්‍යාලයේය. ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා එය පදනම් වූ solid-state physics යනුවෙන් භෞතික විද්‍යාවේ අතු බෙදීමක් පවා සිදුවන්නේ 1912 බව ලියැවී ඇත.


කරුණු එසේවන විට මෙම අයිෆෝනයේ තාක්ශණය, එවන් තාක්ශණයන්ට පිඹුරුපත් පවා ලියැවී නැති 1900 වසරේ ජීවත්වන විද්‍යාඥයින් කෙසේ තේරුම් ගනියිද? අයිෆෝනය ගලවා පරීක්ශාකරන ඔවුන් හට එහි පරිපථවල ක්‍රියාකාරිත්වය සරලව හෝ තේරුම් ගන්නට පරික්ශණ උපකරනද නැත. සරල වෝල්ට් මීටර් හා ඇම්මීටර් හැරෙන්නට වෙනත් මිනුම් හා පරීක්ශණ මෙවලම් නැති ඔවුන් කෙසේ මේ අධිතාක්ශණික උපාංගය විශ්ලේශණය කරන්නද?


වසර දහස් ගණනක් ඉදිරියෙන් ඇති පිටසක්වල තාක්ශණය තේරුම් ගැනීමට උත්සහ කරන අද දවසේ දක්ශතම විද්‍යාඥයින් පවා මුහුණ දෙන ගැටලුවකි මෙය. ඔවුන් තේරුම් ගන්නට උත්සහ කරනා තාක්ශණයේ මූලධර්ම පවා තවමත් සොයාගෙන නැතුවාට සැක නැත.

පිටසක්වලයින්ගේ යානාවල ඇති ප්‍රතිගුරුත්ව එන්ජින් තවමත් අපගේ ගුවන්යානා හා අභ්‍යවකාශ යානාවල දක්නට නොමැත්තේ එබැවිනි. එම ඉන්ජින්වල ක්‍රියාකාරිත්වය තේරුම් ගැනීමට හෝ එම එන්ජින් සාර්ථකව ප්‍රතිනිර්මාණය කිරීමට අපට තවමත් නොහැකිය. පිටසක්වලයින්ගේ යානාවලින් හමුවූවා යයි කියන බොහෝ අධිතාක්ශණික මෙවලම් වල තත්වයද එසේය. වසර 50ක් අධ්‍යනය කලත් තවමත් ඒවා තේරුම් ගැනීමේ හැකියාව අපට නැත.



දෙවනි නිගමනය : සමහර තාක්ෂණයන් පොදු භාවිතය සඳහා නිදහස් කිරීම ආරක්ශක හා ව්‍යාපාරික හේතු නිසා නොහැකිය.ආරක්ශක හේතු : පිටසක්වල යානා වලින් ලැබුණු තාක්ශණය මේ වනවිටත් ප්‍රති ඉන්ජිනේරුකරණය කොට අමෙරිකානු යුධ අවි වලට යොදාගෙන ඇති බව ප්‍රචලිතය. විශේෂයෙන්ම ද්‍රව්‍ය තාක්ශණය (materials technology) පිටසක්වල යානා වලින් ලැබුනු පුදුමාකාර ගතිගුණවලින් යුතු ද්‍රව්‍ය නිසා ඉතා ඉහලට දියුණු වී ඇති බව පැවසේ. එහෙත් ඒවා පොදු භාවිතයට නිදහස් නොකරන්නේ එම ද්‍රව්‍ය යොදාගත් අවි ආයුධ, ගුවන් යානා අමෙරිකාවට යුධමය වාසි ලබාදී ඇති නිසාය. එම යුධමය වාසි අහිමිකර නොගැනීමටනම් එවන් තාක්ශණයන් හැකිතාක් සඟවාගෙන සිටිය යුතුය.

ආර්ථික හේතු : පිටසක්වල යානා වලින් හමුවූ බලශක්ති ප්‍රභව ඉතා අඩු වියදමකින් අසීමිත විදුලියක් ජනනය කල හැකි විදුලි ජනක තාක්ශණයන් බවට ප්‍රති ඉන්ජිනේරුකරණය කොට ඇති බව පැවසේ. එහෙත් එවන් තාක්ශණයන්ද සඟවාගෙන සිටින්නේ එමගින් අමෙරිකාව හා බටහිර රටවල් පාලනය කරන ලෝක තෙල් වෙළඳාමට හා සබැඳි කර්මාන්ත වලට වැදිය හැකි බලවත් පහර නිසයි. බටහිර රටවල් දැවැන්ත සමාගම්වල බිලියන ගණන් ආයෝජන, ආදායම් හා ලක්ශ ගණන් රැකියා මෙවැනි තාක්ශණයන් නිසා අණතුරට ලක්වීමේ හැකියාව ඇත. බලශක්තිය අසීමිතව ලාභදායි වීම අමෙරිකාව වැනි රටවල් ආර්ථික බලපරාක්‍රමයට පහරකි. ඔවුන් ලොව පාලනය කරන්නේ තෙල් කර්මාන්තය හරහාය. ඉරාකය, ඇෆ්ඝනිස්තානය වැනි රටවල් ආක්‍රමණය කලේත්, දැන් ඉරානයට ගහන්නට හදන්නේත් තෙල් නිසාය. මේවා අහිමි කරගැනීමට එම රටවල්වල ධන කුවේරයින් හා එම ධන කුවේරයින්ගේ ධනයෙන් දේශපාලන තනතුරු වලට පත්වෙන අමෙරිකානු ජනාධිපතිවරයාගේ සිට පහලට කිසිවෙක් කැමති නැත.

මේ සඳහා උදාහරණයක් දිය හැකිය :

ප්‍රතිනිර්මාණය වන බලශක්ති ප්‍රභව (renewable energy sources), එනම් සූර්ය බලය, ජීව ඉන්ධන, මුහුදු රළ මගින් විදුලිය නිපදවීමේ තාක්ශණය 1970 ගණන්වල සිට පැවතිනි. එහෙත් ඒවා දියුණු කොට ප්‍රයෝජනයට ගැනීමට අමෙරිකාව ඇතුලුලු බොහෝ බටහිර රටවල් (ප්‍රංශය හැරුණුකොට) වුවමනාවෙන්ම මගහරින ලදී. ඒ තෙල් කර්මාණ්තය නිසාය.

එහෙත් දැන් මෙම බලශක්ති ප්‍රභවයන් සඳහා බටහිර රටවල් දැවැන්ත ආයෝජන සිදුකරයි. ඒ ලෝක ගෝලය උණුසුම් වීම, තෙල් හිඟවෙමින් යාම හා පරිසර දූශණය අධික වීම වැනි හේතූන් නිසාය. මීට වසර 10කට පෙර ඉතා අධික මිල වූ සූර්යකෝශවල මිල දැන් සීග්‍රයෙන් පහලයමින්, ඒවායේ විදුලි උත්පාදන කාර්යක්ශමතාවය වේගයෙන් ඉහල යමින් පවතින්නේ මේ ආයෝජන නිසාය.

මෙවැනි ආයෝජන මීට වසර 20කට පෙර සිදුකලානම් මේවන විටත් මුලු ලෝකයට තෙල් උගුලෙන් ගැලවෙන්නට තිබුණි. එහෙත් එසේ සිදු නොවිනි. තාක්ශණයද දියුණුවන්න්නේ බටහිර බලවත් රටවල්වල දේශපාලන ආ ආර්ථික න්‍යාය පත්‍රයන්ට අනුව බව වටහාගත යුතුය.

අඟහරු ලොවට හිරු තැටියක්


අඟහරු ලොවට හිරු තැටියක් ගෙනගිය කිව්රියෝසිටි රෝවරය අඟහරු පොලොව මත මෝර්ස් සංඥා සටහන් කරයි!


මේවන විට අඟහරු වෙත ගොඩබට කිව්රියෝසිටි රෝවරය ගැන ඔබ බොහෝදේ දනී. අපගේ වෙබ් අඩවියෙන් මෙන්ම, විවිධ පුවත්පත්වලද වෛවර්ණ පිටු පුරාවට කිව්රියෝසිටි රෝවරයේ තාක්ශණික තොරතුරු හා එයින් සිදුකිරීමට බලාපොරොත්තුවන ගවේශණ පිලිබඳව ඔබ කියවන්නට ඇත.

එහෙත්, නාසා ආයතනය එතරම් ප්‍රසිද්ධියක් නොදුන්, පුවත්පත්වල වාර්තා නොවුනු තවත් විස්මිත රහස් ගණනාවක් කිව්රියෝසිටි අඟහරු ලොවට රැගෙන ගොස් ඇතැයි පැවසෙන අතර රෝවරයේ සැඟවුනු තොරතුරු කිහිපයක් විද්‍යා ගවේශණ වෙත වාර්තාවී ඇත.....

අඟහරුලොව හිරු තැටිය

රෝවරය නිර්මාණය කල නාසා අධිතාක්ශණික ගීකයින් (high-tech geeks) රෝවරයට සුපිරි තාක්ශණික උපකරණ ලබාදුන්නා මෙන්ම, වසර දහස්ගණනක් පැරණි තාක්ශණයක්ද ලබාදී තිබෙනවා. ඒ යාන්ත්‍රික ඔරලෝසුව නිපදවීමට පෙර පැරැණ්නන් වෙලාව දැනගත් හිරු තැටියක් අඟහරු ලොවට යවමින්.










මෙම හිරුතැටිය යැවීමේ අරමුණු කිහිපයක් තිබෙන බව නාසා ආයතනය පවසනවා. මෙයින් ඉතා වැදගත් අරමුණක් වන්නේ රෝවරයට සාපේක්ශව අඟහරු අහසේ හිරු තිබෙන ස්ථානය හිරු තැටියට වැටෙන සෙවනැල්ලේ පිහිටීමෙන් දැන ගත හැකිවීමයි. මීට අමතරව අඟරුවාගේ විෂුවය (equinox) හා සූර්ය නිවෘත්තිය (solstice) සිදුවීමට කොපමණ කල් ඇතිදැයි දැනගැනීමද මෙය උපකාරීවේ.



කිව්රියෝසිටි හිරුතැටියේ රූපසටහනක්
මීට අමතරව රෝවරයේ කුඹයේ සවිකොට ඇති ප්‍රධාන කැමරා (MastCam) වල වර්ණ ක්‍රමාංකණය කිරීමටද (Colour Calibration ) මෙම හිරු තැටියේ සිවු කොන සවිකොට ඇති වර්ණ සතරක තීරු උපකාරී වෙනවා. යම් කාලාන්තර තුලදී මෙම වර්ණ තීරු වෙත කැමරා එල්ල කිරීමෙන්, කැමරාවෙන් ලැබෙන ඡායාරූප අඟහරුවාගේ නියම වර්ණ බවට තහවුරු කරගැනීමට උපකාරී වනවා.

අඟහරු පොලොව මත මෝර්ස් සංඥා සටහන් කරන රෝවරයේ රෝද

රෝවරය නිර්මාණය කල නාසා ගීකයින්ගේ තවත් අපූර්ව සිතුවිල්ලක් නම් රෝවරයේ රෝද අඟහරු පෘශ්ඨය මත සටහන් කරන රෝද සටහන් වල රෝවරයේ නිර්මාපකයා වන JPL ආයතනයේ නම, මෝර්ස් සංඥා ක්‍රමයට අඟහරු පොලොව මත සටහන් වන ආකාරයට එහි රෝදවල කැපුම් නිර්මාණය කිරීමයි.



මෝර්ස් සංඥා ක්‍රමය යනු තිතක් ( ඩොට් . ) හා ඉරක් (ඩෑශ් - ) ආකාරයට ඉන්ග්‍රීසි හෝඩියේ අකුරු සියල්ලම සටහන් කල හැකි සංඥා ක්‍රමයකි. මෙය අතීතයේ රේඩියෝ පණිවුඩ හුවමාරු සඳහා බෙහෙවින් යොදාගන්නා ලද අතර අද පවා හමුදා රේඩියෝ පණිවුඩකරුවන් හා නාවිකයින් ප්‍රගුණ කරන්නකි.








JPL අකුරු තුන මෝර්ස් සංඥා ක්‍රමයට සටහන් වන්නේ;




J > .---
P > .--.
L> .-..


ජේ.පී.එල් අකුරු තුන රෝවරයේ රෝද සටහන් අතර අඟහරු පෘශ්ඨයේ සළකුණු වී ඇති ආකාරය



රෝවරයේ විවිධ ස්ථානවල සටහන් වී ඇති ස්මාර්ට් ෆෝන් සඳහා දත්ත ලබාදෙන QR Code

රෝවරයේ විවිධ උපාංගවල ඡයාරූප නිරීක්ශණය කරන ඔබට පහත ඡායාරූපයේ ඇති ආකාරයට QR Code රූපසටහන් සළකුණු කර තිබෙනු දකින්නට ලැබී ඇත. නාසා ආයතනය සඳහන් කරන ආකාරයට මෙම QR Code මගින් ඉදිරි දිනවලදී දිනවලදී රෝවරයේ ගවේශණ පිලිබඳව තොරතුරු මහජනයා වෙත ක්ශණිකව ලබාගත හැකිවනු ඇත.



නාසා ආයතනය පවසන අන්දමට තවමත් මෙම කිව්.ආර් කේත ක්‍රියාත්මක නොවන අතර ඉදිරියේදී ඒවා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවේ. එවිට ඔබගේ ස්මාර්ට් ෆෝනය මගින් මෙම එකක ඡායාරූපයක් ගෙන ඔබටම මෙය අත්හදා බැලිය හැකිය.


Fiduciary Markers



රෝවරයේ විවිධ උපාංගවල ඡායාරූප අතර රූපයේ පෙනෙන ආකාරයේ අමුතු සළකුණු ඔබ නිරීක්ශණය කරන්නට ඇත. ෆිඩුශියරි මාකර්ස් හෙවත් විශ්වාසය තහවුරු කරන සළකුණු යනුවෙන් නම් කොට ඇති මෙම සළකුණු, නාසා ඉන්ජිනේරුවන් පවසන ආකාරයට කැමරා ඇතුළු විවිධ උපාංග චලනය වී ඇති ප්‍රමාණය පිලිබඳව දත්ත ලබාදෙයි.

උදාහරණයක් ලෙස කැමරාවෙන් රෝවරයේ ඡායාරූපයක් ගන්නා විට මෙම සලකුණු පිහිටන ස්ථාන අනුව කැමරාව අංශක කීයක් භ්‍රමණය වී ඇත් දැයි දැන ගත හැකි බව පැවසේ. මෙම මිනුම් කැමරාවේ ඇකියුටේටර් (ඇකියුටෙටර් - යමක් කරකැවීමට අවශ්‍ය මෝටරය හෝ හයිඩ්‍රොලික් උපාංග අඩංගු කොටස) මගින් එවන දත්ත සමග සසඳා අවශ්‍ය නම් කැමරාවේ ඇකියුටේටර් ක්‍රමාංකණය කිරීම මගින් කැමරාවේ බ්‍රමණය මිලිමීටර් ගණනාවකට සීරුමාරුකර ගත හැකි බව පැවසේ.