වසර 31,000 පැරණි බීජ පැලකරවූ රුසියානු විද්‍යාඥයෝ

වසර 31,000 පැරණි බීජ පැලකරවූ රුසියානු විද්‍යාඥයෝ


මේ පැලෑටියේ මවු ශාකය එම බීජ නිපදවන විට මැමත් නම් යෝධ ඇතුන් මෙම පැලෑටියේ ජන්ම භූමිය වුනු සයිබීරියාව සිසාරා සැරිසරමින් සිටියහ!

වසර 31,800කට පෙර රුසියානු සයිබීරියාවේ ඊසානදිග ප්‍රදේශයේ කොලීමා ගංගාව අසල යම් ස්ථානයක නම් arctic ground squirrel ලේනුන් විශේෂයට අයත් ලේනෙකු ශීත සෘතුවේදී ආහාරයට ගැනීම සඳහා ඇට වර්ග ගණනාවක් ඌ විසින් පොලොව යට හාරන ලද කුඩා උමගත් තුල තැම්පත් කලේය. අවසාන අයිස් යුගයට (වසර 10,000 පෙර මෙය අවසන් විය) අයත් වුනු මේ කාළයේ ගිම්හාන සෘතුව ඉතා කෙටි වුනු අතර ආහාර වැළලූ ස්ථානය ලේනාට අමතක වුනු බැවින් ශීත සෘතුව එළඹීමත් සමග පොලව ඝනීභවනය වී අයිස් බවට පත්වීමෙන් මේ බීජවල ජීව ගුණය සුරැකී තිබිණි.



Arctic Ground Squirrel


කොලීමා ප්‍රදේශය, ඊසානදිග සයිබීරියාව, රුසියානු ෆෙඩරේශණය

මෑතකදී මෙම ප්‍රදේශයේ ගවේශණයක යෙදුනු රුසියානු විද්‍යාඥයින් කණ්ඩායමකට අඩි 38 ගැඹුරු පස්තට්ටුවක් යටින් මේ බීජ හා තවත් පැලෑටි කොටස් හමුවිය. කාබන් කාළ නිර්ණ පරීක්ශාවකින් පසු මෙම බීජ වසර 31,000 පමණ පැරණි බව තහවුරු වුනු අතර පැළෑටි පොහොර ද්‍රාවණයක පෙඟෙන්නට හැර තිබුණු මෙම බීජ වලින් මුල් ඇදෙන බව දැකගන්නට හැකිවිය.


මුල් ඇදෙමින් තිබුණු බීජ විද්‍යාගාරය තුලදී කුඩා පෝච්චි වලට මාරු කරන ලද අතර ඒවා ඉතා හොඳින් වැඩී මල් හටගෙන ඇති ආකාරය ඔබට පෙනෙන්නට ඇත. මෙම පැලෑටිය මල් පමණක් නොව බීජ පවා නිපදවමින් ඇති ඇතර මෙනිසා වසර 31,000 පෙර අයිස් යුගයන් පසු අභාවයට ගොස් තිබූ මෙම පැලෑටි වර්ගය යලිත් සාර්ථකව බෝ කරගැනීම විද්‍යාඥයින් හට හැකිවී ඇත. මේ අනුව දැනට ලොව මල් හටගන්නා පැරණිම ශාකය ලෙස මේ කුඩා පැලෑටිය වාර්තාවක් තබා ඇත.

මේ සොයාගැනීමේ ඇති වඩාත්ම වැදගත් භාවය නම් අධික ශීතලට නිරාවරණය කලවිට ශාක බීජ වලට වසර දස දහස් ගණනාවක් ජීව ගුණය රඳවාගෙන නැවත රෝපනය වීමට ඇති හැකියාව තහවුරු වීමයි.

අනාගතයේ සිදුවිය හැකි ව්‍යසනයකදී ලොව වැදගත් ආහාර ධාන්‍ය හා වෙනත් වැදගත් ශාක බීජ ශීත කොට ආරක්ශා කිරීමේ ව්‍යාපෘති විද්‍යාඥයින් විසින් ක්‍රියාත්මක කොට ඇති අතර මේ ව්‍යාපෘති සාර්ථක විය හැකි බව වසර 31,000ක් පැරණි බීජ වලින් යලි රෝපනය වුනු මේ පැලෑටිය මගින් තහවුරු කොට ඇත.



යෝධ මැමත් ඇතුන් අයිස් යුගයේදී සයිබීරියානු තැනිතලාවල රංචු වශයෙන් ගැවසුනි.

0 ඔබගේ අදහස් දක්වන්න: