අහස සූරන මැඳුරු දෙගුණයකින් උස යයිද?

මේ සෝපානය නිසා අහස සූරන මැඳුරු දෙගුණයකින් උස යයිද?

තාක්ෂණයේ පෙරළිකාර නව සොයා ගැනීමක් නිසා අහස් කුස සිසාරා යන මැඳුරු නුදුරු අනාගතයේ දී දැන් මෙන් දෙගුණයක් උසින් තැනීමට හැකි වෙතැයි විද්‍යාඥයන් කියනවා.
මෙයට හේතු වී ඇත්තේ සුපිරි සවි ඇති කාබන් තන්තුවලින් තැනුනු රැහැනක් අලූතින් නිර්මාණය කිරීමට විද්‍යාඥයන්ට හැකි වීමයි.

දැනට මෙවන් උස ඇති විදුලි සෝපානවලට භාවිත කරනු ලබන්නේ වැඩිම සවිමත් බවත් ඇති වානේ කේබලයි. ඒ කේබලවල ශක්තිය අනුව උපරිම උස දැන් ඉදි කරන ගොඩනැගිලි ලබා තියෙනවා.

දැනට භාවිතයේ පවතින කේබලයට වඩා බොහෝ සේ සවිමත් මේ නව කේබලය නිර්මාණය කිරීමේ ගෞරවය හිමි කර ගෙන ඇත්තේ පින්ලන්ත සෝපාන නිෂ්පාදන ආයතනයක් වූ කෝන් (Kone) සමාගමයි. මේ නව කේබලය නිසා විදුලි සෝපානයක් එකවරම කිලෝමීටරයක් ඉහළට එසවිය හැකියි. එය අද ඇති ලොව උසම ගොඩනැගිල්ල වූ මීටර 828ක් (අඩි 2,716ක්) උස ඩුබායිහී බර්ජ් ඛලීෆාවට වඩා උසයි.

 
කාබන් තන්තු රැහැන් නිපදෙව්වාට පසු සැතැපුමකට වැඩි උසැති ගොඩනැගිලි ඉදි කිරීමේ සිහිනය සැබෑ වනු ඇති. එය දැනට භාවිත කෙරෙන වානේ කේබලවලට වඩා සැහැල්ලූයි. ඒත් සෝපානයක් වැඩි උසකට ඔසවන්න එයට පුළුවන්.

අනාගත ලෝකයේ ජනගහනය වැඩි වී ගෙන යන ආකාරය අනුව බිම් ප‍්‍රමාණය ප‍්‍රමාණවත් නො වන නිසා ජීවත් වීම සඳහා තව තවත් අහස උසට විහිදෙන ගොඩනැගිලි තනනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නැති බව දැන් පැහැදිලියි.

ඇමෙරිකාවේ චිකාගෝ නගරයේ ස්ථාපිත කර ඇති උස් ගොඩනැගිලි හා නාගරික ජනාවාස පරිසරය පිළිබඳ ජගත් සංවිධානයේ (Council for Tall Buildings and Urban Habitat) නිර්මාතෘ හා එහි විධායක අධ්‍යක්ෂ ඇන්තනි වුඞ් පවසන හැටියට මේ නව නිපැයුම ගැන විශේෂ අවධානයක් යොමු කර තියෙනවා. ඔහු කියන්නේ මෙහෙමයි: ‘මේ නව කාබන් තන්තු රැහැන නිසා මෙතෙක් උස් ගොඩනැගිලිවලට පැවති සීමාවන් ඉවත් යන බවයි. තනි සෝපානයක් වැඩිම උසක් ගෙන යාමට අවශ්‍ය වානේ රැහැන්වල බර පිළිබඳ ගැටලූව විසඳෙන බවයි.

‘මේ නව රැහැන්වල ඇති සැහැල්ලූ බව නිසා තව තවත් වැඩි උසක් ඇති ගොඩනැගිලි තනා වැඩි වන නාගරික ජනගහනයේ අවශ්‍යතා සපුරා ලීමට අපට හැකි වේවි. ඒ සියල්ලට ම වඩා මගේ සිත් ගත්තේ මේ අල්ට‍්‍රාරෝප් (UltraRope) නම් රැහැනේ ඇති කාර්යක්ෂමතාවයි’ ඔහු වැඩි දුරටත් කියනවා.

උස් ගොඩනැගිලි තනන වාස්තු විද්‍යාඥයන්ට වදයක් වෙලා තිබුණේ මේ සෝපාන උස් පහත් කිරීමට යොදා ගන්නා වානේ කේබලවල ඇති විශාල බර දැරිය නොහැකි වීමයි. ඒ සඳහා විශාල ශක්තියක් සැපයීමට විදුලි බලය විශාල ප‍්‍රමාණයක් අවශ්‍ය වුණා.

මේ කෝන් ආයතනය විසින් නිපදවා ඇති නව අල්ට‍්‍රාරෝප් නම් කාබන් තන්තු රැහැන වානේ කේබලවලට වඩා ශක්තියෙන් වැඩියි. ඒ වගේ ම විශාල ලෙස බරින් අඩුයි. පැරණි වානේ කේබලයට වඩා මේ නව කාබන් රැහැන සියයට 90ක් බරින් අඩුයි.

කෝන් ආයතනයේ නිෂ්පාදන අධ්‍යක්ෂ ජොහැන්නස් ඞී යොන් මේ නව රැුහැන ගැන කියන්නේ මෙහෙමයි: ‘අප පෙර භාවිත කළ මීටර 400ක වානේ කේබල කට්ටලයක් ටොන් 19ක් විතර බවයි. ඒත් එම ප‍්‍රමාණයටම දිග නව කාබන් රැහැන් කට්ටලයක් බරින් ටොන් 10ක් විතරයි වෙන්නේ.’

එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවලට අනුව 2050 වන විට මේ ලෝකයේ වෙසෙන 10 දෙනකුගෙන් 7 දෙනකු ජීවත් වනු ඇත්තේ අහස උසට ඉදිවන ගොඩනැගිලිවල බවයි.

අහස් කුස සිසාරන ගොඩනැගිලිවල ස්වරූපය වෙනස් කරන නව රැහැන හඳුන්වා දීම.

 
මෙය කේබල ලෝකයේ විප්ලවයක්. මේ කේබල මගින් වෙනදා නොතිබූ උසකට සෝපාන එසවීමට ඇති හැකියාව නිසා පමණක් නොව මෙය වැඩි බලයක් හා වැඩි ද්‍රව්‍යමය කාර්යක්ෂමතාවක් ඇති එකක් මෙවැන්නකින් අනාගතයේ ගත හැකි ප‍්‍රයෝජන අනන්තයි.

 
ලොව උසම ගොඩනැගිල්ල ලෙස තවමත් වැජඹෙන ඩුබායිහී බර්ජ් ඛාලිෆා (Burj Khalifa) උසින් අඩි 2,716ක්. 1931 ඉදිකළ දා සිට දසක ගණනාවක් උසම ගොනැගිල්ල ලෙස සලකනු ලැබූ ඇමෙරිකාවේ එම්පයර් ස්ටේට්හී උස අඩි 1,250ක්. මේ නව කාබන් තන්තු රැහැන නිසා මේවා අනාගතයේ ඉදි කෙරෙන ගොඩනැගිලි ඉදිරියේ කුරුමිට්ටන් වනු ඇති.


 
මේ පැරණි ක‍්‍රමයේ සෝපානවල තිබූ වානේ කේබල වෙනුවට අනාගතයේ දී කාබන් තන්තුවලින් තැනුනු රැහැන් යොදනු ඇති. ඒවා වානේ කේබලවලට වඩා බරින් අඩු නිසා සෝපාන වඩාත් ඉහළට එසවිය හැකියි. ඒවා කි‍්‍රයා කරවීමට වැය වන ශක්තිය ද සෑහෙන්නට අඩුයි.

 
අනාගතයේ අහස් රේඛාව මේ නව තාක්ෂණ දියුණුව නිසා උස් ගොඩනැගිලිවලින් පිරී යාවි. අඩි 650කට (මීටර 200කට) වැඩි උසක් ඇති ගොඩනැගිලි 600කට වැඩි ගණනක් නුදුරේ දීම ඉදි වෙන බවයි, දැන් කියවෙන්නෙ.

 
එලීෂා ඕටිස් තමයි 1853 දී ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ පැවති ලෝක ප‍්‍රදර්ශනයේ දී මුල්වරට මේ ආරක්ෂිත සෝපානය ලොවට හඳුන්වා දුන්නේ. ඉන් වසර හතරකට පසු ඔහුගේ සමාගම ඕටිස් සෝපාන තනන්නට පටන් ගත්තා. එහි මුල් ම මගී සෝපානය සවි කළේ නිව්යෝක් නගරයේ මෑන්හැට්න් වෙළඳ සැලෙහි සවි කරනු ලැබුවා. පඩි නැඟීම ගැන වද නොවී උස් ගොඩනැගිලි තනන්නට මිනිසුන් පෙලඹුණේ එයින් පසුවයි.

0 ඔබගේ අදහස් දක්වන්න: