කලකට පෙර බර්මියුඩා‬ ත්‍රිකෝණයේ අත්රුදන් වූ ‪Flight‬ 19 බලගණය


කලකට පෙර බර්මියුඩා‬ ත්‍රිකෝණයේ අත්රුදන් වූ ‪Flight‬ 19 බලගණය








කලකට පෙර බර්මියුඩා‬ ත්‍රිකෝණයේ අත්රුදන් වූ ‪Flight‬ 19 බලගණය (Bermuda‬ Triangle Part - 03)
*දිනය: 1945 දෙසැම්බර් 5
*වේලාව: සවස 4.30 ට පමණ
*ස්ථානය: බර්මියුඩා ත්‍රිකෝණය ඉහළ අහස
*මෙහෙයුම: Navigation Problem Number One
*පාලක මැදිරිය: ෆ්ලොරීඩා හි NAS Fort Lauderdale ගුවන් පාලක *මධ්‍යස්‌ථානය

පාලක මැදිරිය, මේ Flight 19 බලගණයේ FT-36 ගුවන් යානය යි. අවසන් බෝම්බය ඉලක්කය වෙත පතිත කිරීමට සූදානම්.
FT-36, ඔබට අවසර ලැබෙනවා.
බෝම්බය සාර්ථකව පතිත වුණා. මෙහෙයුම සාර්ථකයි. Flight 19 බලගණය නැවත මූලස්ථානය වෙත පැමිණෙනවා.

මිනිත්තු 40 කට පමණ පසු.....

Flight 19, මේ පාලක මැදිරිය යි. කරුණාකර ඔබේ පිහිටීම වාර්තා කරන්න.

පිළිතුරක් නැත.....

මේ අතර මීට කිලෝමීටර කිහිපයක් ඈතින් පියාසර කෙරෙමින් ඇති උක්ත මෙහෙයුමේ ම යෙදී සිටින වෙනත් බලගණයක ප්‍රධාන යානාවට (FT-74) අපැහැදිලි පණිවිඩයක් ලැබේ.

මේ FT-28 ගුවන් යානය යි. කරුණාකර උදව් කරන්න..!
මේ FT-74 ගුවන් යානය යි. FT-28, ඔබේ පිහිටීම වාර්තා කරන්න. අප සහායට පැමිණෙනවා.
අපේ ගුවන් යානා පහේම මාලිමා යන්ත්‍ර අක්‍රීය යි. අපට Fort Lauderdale ඇති දිශාව සොයා ගැනීමට බැහැ. කරුණාකර උදව් කරන්න!
අතුරුදහන් වූ TBM Avenger යානා පහ

දෙසැම්බර් 5 වනදා ෆ්ලොරීඩා හි NAS Fort Lauderdale සිට Navigation Problem Number One පුහුණු මෙහෙයුම ආරම්භ වූයේ ගුවන් බලගණ (ගුවන් යානා සමූහයක්) කිහිපයක සහභාගීත්වයෙනි. සෑම බලගණයකම ප්‍රධානියා ලෙස ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවෙකු කටයුතු කල අතර මෙහෙයුමේ අරමුණ වූයේ නිශ්චිත ඉලක්කයකට බෝම්බ දැමීම සහ නැවත මූලස්ථානයට පැමිණීම නවක ගුවන් නැවියන්ට පුහුණු කිරීමයි. ඉහත සඳහන් කළ Flight 19 බලගණය TBM Avenger වර්ගයේ බෝම්බ හෙළන යානා පහකින් සමන්විත විය. ලුතිනන් චාල්ස් කැරොල් ටේලර් ගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම ආරම්භ කල බලගණයේ මුළු සාමාජික සංඛ්‍යාව දහ හතරක් විණි. පස්වරු 2.15 ට NAS Fort Lauderdale වෙතින් පිටත් වූ මෙම යානා සමූහය පුහුණුව සාර්ථකව නිමා කොට නැවත පැමිණෙන අතරවාරයේ බර්මියුඩා ත්‍රිකෝණය ඉහළ අහසේදී කිසිදු සාක්ෂියක් ඉතිරි නොකොට, අත්භූත ලෙස අතුරුදහන් විය ... ඉහත දෙබසින් පසු FT-74 යානාවේ ප්‍රධානියා වූ ලුතිනන් රොබට් කොක්ස් විසින් මේ පිළිබඳව Fort Lauderdale පාලක මැදිරිය දැනුවත් කරන ලද අතර ඒ හරහා Flight 19 බලගණයට තම යානා වල වම් පස තටු හිරු දෙසට එල්ල වන ආකාරයට පියාසර කරන ලෙසට අණ ලැබුණි. ඔවුන් ඒ අනුව පියාසර කිරීම ආරම්භ කළ බව FT-74 යානාවට දැනුම් දුන්හ. කෙසේ හෝ මේ ආකාරයට රාත්‍රී 7 පමණ වන තෙක් Flight 19 හි FT-28 යානාව, FT-74 සමග විටින් විට සම්බන්ධ වූවත්, ඔවුන් ලබා දුන් පණිවිඩ ඉතාමත් අපැහැදිලි විය. පැය කිහිපයක් තිස්සේ පාලක මැදිරිය උපදෙස් දුන් ගමන් මාර්ගය දිගේ පියාසර කළ ද, Flight 19 යළි කිසිදු දිනෙක Fort Lauderdale වෙත පැමිණියේ නැත .
අතුරුදන් වූ යානා සෙවීමේ කටයුතු වහා ආරම්භ විය. බොහෝ වගකිව යුතු නිළධරයන් ගේ අදහස වූයේ අතරමං වුණු යානාවන් පැය කිහිපයක් පුරා ඒ මේ අත පියාසර කොට ඉන්ධන අවසන් වූ පසු මුහුදට කඩා වැටුණු බව යි. සාගරයට ඉහළින් ගමන් ගනිමින් තිබූ යානයක් කුමන හේතුවක් නිසා අනතුරකට ලක් වුවත් එය කඩා වැටිය යුත්තේ සාගරයට ය. එවිට දින කිහිපයකට පසු හෝ අනතුර සිදු වූ ස්ථානයේ ජලය මතුපිට යානයේ සුන්බුන්, තෙල් පැල්ලම් ආදිය දැක ගත හැකි වේ. නමුත් Flight 19 සිදුවීමේ දී එබඳු ද්‍රව්‍යයන් කිසිවක් හමු වූයේ නැත. දැවැන්ත හා බලගතු, බෝම්බ හෙළන යුධ ගුවන් යානා පහක් ගුවන් නැවියන් දහ හතර දෙනෙකු ද සමග සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී තිබිණ.

ඉහළ අහසේදී පුපුරා ගිය PBM Mariner යානාව
මේ අතර Flight 19 සෙවීමට බර්මියුඩා ත්‍රිකෝණයට ඉහළින් පියාසර කළ PBM Mariner වර්ගයේ ගුවන් යානාවක්ද එහි කාර්යමණ්ඩලයේ දහතුන් දෙනෙකු සමග අත්භූත ලෙස අතුරුදහන් විණි! පසුව සොයා ගැනුනේ එම යානාව යම් හේතුවක් නිසා අහසේදී පිපිරී විනාශ වුණු බව යි. එහෙත් එම පිපිරීමට හේතුව හෙළිදරව් වූයේ නැත. පරීක්ෂණ වලදී හෙළි වුණු ආකාරයට පාලක මැදිරිය හා සම්බන්ධතාවය ඇණ හිටි අවස්ථාවේ දී Flight 19 සිටියේ Fort Lauderdale සිට කිලෝමීටර 370 ක් පමණ ඈතිනි. කෙසේ හෝ පරීක්ෂණ කටයුතු අවසානයේ කිසිවෙකුටත් අතුරුදන් වූ බලගණය ගැන නිශ්චිත අදහසක් ඉදිරිපත් කළ හැකි වූයේ නැත. ඉන්ධන අවසන් වීමෙන් යානාවන් සාගරයට කඩා වැටෙන්නට ඇති නමුත් ඒවායේ සුන්බුන් කිසිත් හමු නොවූ බවත්, බලගණ නායක ලුතිනන් චාල්ස් ටේලර් බහමාස් හි දූපත්, ෆ්ලොරීඩාවේ දූපත් යැයි වරදවා වටහා ගෙන නියමිත ගුවන් මාර්ගයෙන් එපිට ට යන්නට ඇති බවත් අනුමාන කිරීම් ලෙස පරීක්ෂණ වාර්තාවේ සටහන් විණි. යානා සෙවීමේ කටයුතු අත්හැර දමන ලදී.

අවසන් පරීක්ෂණ වාර්තාවට අනුව බලගණයේ ගමන් මග

පසු කලෙක, 1986 දී මේ අභිරහස් සිදුවීම නැවතත් කරළියට පැමිණියේය. ඒ එම කාල වකවානුවේදී අභ්‍යවකාශගත වීමක් අතරතුර පිපිරී විනාශ වී ගිය චැලෙන්ජර් අභ්‍යවකාශ ෂටලයේ සුන්බුන් සොයමින් සිටි පරීක්ෂණ කණ්ඩායමකට ෆ්ලොරීඩා වෙරළ තීරය ආසන්නයේ මුහුදු පත්ලේ තිබී TBM Avenger යානයක කැබලි හමු වීමෙනි. පසුව කිමිදුම් කරුවන් ලවා එම යානයේ සුන්බුන් ගොඩ ගෙන පරීක්ෂා කළද, පුදුමය වූයේ එම සුන්බුන් Flight 19 බලගණයේ යානයක කොටස් යැයි ඔප්පු කළ හැකි නොවීමයි! නැවත 1991 දී ෆ්ලොරීඩා වෙරළ තීරයේම වෙනත් දිශාවක මුහුදු පත්ලේ තිබී TBM Avenger වර්ගයේ යානා පහක සුන්බුන් හමු විය. නැවතත් සුන්බුන් හා අතුරුදන් වූ යානා සංසන්දනය කරන ලදී. ඉන් ලැබුණු ප්‍රතිඵලය පරීක්ෂකයන් විශ්මයෙන් විශ්මයටත්, අවුලෙන් අවුලටත් පත් කිරීමට සමත් විණි. මුහුදු පත්ලේ තිබී හමු වූ Avenger යානා පහ කිසිසේත්ම අතුරුදහන් වූ Flight 19 යානා පහ නොවීය!! ඒවායේ එන්ජින් සීරියල් අංක සහ Flight 19 හි එන්ජින් සීරියල් අංක සම්පූර්ණයෙන්ම අසමාන විය. අනෙක් අතට Flight 19 අතුරුදන් වූයේ මදක් ගැඹුරු මුහුදේ මිස වෙරළට මෙතරම් ආසන්නයේ දී නොවේ. එහි තවත් විශේෂත්වයක් වූවේ මුහුදේ කිලෝමීටර 2.4 ක පමණ වපසරියක එකිනෙකට ඉතා ආසන්නව සුන්බුන් විසිරී තිබුණ ද, මෙම යානා පහ කඩා වැටී තිබුණේ විවිධ දිනයන් හිදී වීම යි. (යානා වල සටහන් වී තිබූ දත්ත ආධාරයෙන් සොයා ගන්නා ලදී.)

කෙසේ හෝ Flight 19 අභිරහස වර්තමානය වනවිටත් විසඳී නොමැත. මෙහිදී පැන නැගෙන ගැටළු ගණනාවකි. Flight 19 යානා පහේම දිශාව පෙන්වන උපකරණ එකවර අක්‍රීය වූයේ ඇයි? ගුවන් පැය 2500 ක පළපුරුද්දක් තිබුණු ලුතිනන් චාල්ස් ටේලර් ට පාලක මැදිරියේ මග පෙන්වීම යටතේවත් තම බලගණය මූලස්ථානයට මෙහෙයවිය නොහැකි වූයේ ඇයි? යානා පහ මුහුදට කඩා වැටුනා නම්, ඊට සම්බන්ධ කිසිදු සාක්ෂියක් නොලැබුණේ කුමක් නිසාද? Flight 19 සෙවීමට ගිය PBM Mariner යානය අහසේදී පුපුරා යාමට හේතුව කුමක්ද? එමෙන්ම වසර ගණනාවකට පසු ෆ්ලොරීඩා වෙරළ තීරයේදී හමූ වූ TBM Avenger යානා හය Flight 19 නොවේ නම්, ඒ යානා මොනවාද? ඒවා අනතුරට පත් වූයේ කෙසේද? විවිධ කාල වලදී මුහුදේ එකම ස්ථානයකට ගුවන් යානා පහක් කඩා වැටුනේ කෙලෙසද?

Flight 19 බලගණය අනතුරකට ලක් වී මුහුදුබත් වූවා ද? නැතහොත් සමහරුන් පවසන ආකාරයට බර්මියුඩා ත්‍රිකෝණයේ දී ඔවුන් පිටසක්වළ ජීවීන් විසින් පැහැර ගනු ලැබුවා ද?

All Planes, close up tight. We ll have to ditch unless landfall. When the first plane drops below ten gallons, we all go down together...ඒ Flight 19 ප්‍රධානී ලුතිනන් ටේලර් ගේ අවසන් පණිවිඩය යි...

0 ඔබගේ අදහස් දක්වන්න: