හෙලිකොප්ටරයක් ගමන් කරන්නේ කෙසේද?


හෙලිකොප්ටරයක් ගමන් කරන්නේ කෙසේද? (How helicopter Fly)–1 කොටස –හෙලිකොප්ටරයේ ඉතිහාසය


මම මීට පෙර ලිපියක සදහන් කළා මතක ඇති ගුවන් යානයක් ගමන් කරන්නේ කොහොමද කියලා. ඉතින් සමහර විට හිතන්න ඇති හෙලිකොප්ටරය ගමන් කරන්නේත් මේ වගේ වෙන්න ඇති කියලා. අපි අද බලමු හෙලිකොප්ටරය ගමන් කරන්නේ කොහොමද කියලා. බැලු බැල්මට දෙකම උඩ යන ඒවා නිසා හිතෙන්න පුළුවන් මේ දෙකේම ක්‍රියා කාරීත්වය එක වගේ කියලා. පසුබිමේ තිබෙන සිද්ධාන්තය එකම වුවත් එය යොදා ගැනීම මේ දෙකේ දි, ඒ කියන්නෙ ගුවන් යානයේදීයි හෙලිකොප්ටරයේ දි යි වෙනස්. මේකට ඉස්සරලා ගුවන් යානය ගමන් කරන ආකාරය කියවලා බලන්න.
ගුවන් යානයක් සහ හෙලිකොප්ටරයක් ගත්තම ප්‍රධාන වෙනස්කම් දෙකක් හඳුනා ගන්න පුළුවන්. ගුවන් යානයක් ගත්තම ඒකෙ තියෙන පියාපත් එහි බදට සවි කර තිබෙනවා. ගමන් කරන විට ඒවා බඳට සාපේක්ෂව වෙනස් වෙන්නේ නැහැ. නමුත් හෙලිකොප්ටරයක පියාපත් ඇක්සලයකට සවි කර තිබෙන අතර ඒවා බඳට සාපේක්ෂව චලනය වෙනවා. පියාපත් කියන්නෙ අර ඉහලින් තිබෙන අවර පෙති වලට. අනෙක් වෙනස තමයි ගමන් කරන විලාශය. හෙලිකොප්ටරයකට සිරස් අක්ෂයක ගමන් කළ හැකි මුත් ගුවන් යානයකට එසේ ගමන් කිරීම අපහසුයි.
දැන් බලමු හෙලිකොප්ටරයේ ඉතිහාසය ටිකක්. ලෝකයේ වෙනසකට භාජනය කිරීමට සමත් වූ බොහෝ දේවල් වල මූලාරම්භය වගේම මේ දේත් ආරම්භ වන්නේ චීනයෙන්. ක්‍රි. පූ. 400 දී විතර චීනයේ ළමයින් භාවිතා කරන ලද උණ පතුරු ආශ්‍රයෙන් සකස් කර ගන්නා පියාඹන සෙල්ලම් බඩුව හෙලිකොප්ටරයේ ආරම්භය ලෙස සළකනවා. මේ පහත තියෙන්නෙ එහි ඡායාරූපයක්
ඉන්පස්සේ 1480 දී විතර ලියනාඩෝ ඩාවින්චි විසින් වාතය විදගෙන ඉහළට යන යන්ත්‍රයක සටහනක් සකස් කර තිබෙනවා. ඔය පහළ තියෙන්නෙ ඒකෙ පින්තූරයක්.
මේකෙදි වෙන්නෙ මුළු යන්ත්‍රය ම කැරකැවෙමින් ඉහළ යාමයි. මේ යන්ත්‍රයෙන් සුළු නිර්මාණ කළත් මේක සාර්ථක වුනේ නැහැ. මෙහි දුර්වලතාවයක් තමයි යානයම කරකැවෙන එක නවත්වන්න අපහසු වීම. කෙසේ වෙතත් පසුකාලීනව මේ සටහන් අනුව යානා සකස් කිරීම වෙනුවට අර චීනයේ උණ පතුරු උපකරණය දියුණු කිරීමක් තමයි සිදු වුනේ. විවිධ අය විසින් විවිධ නිර්මාණ කළත් සාර්ථක වුනේ බොහොම අඩුවෙන්. 1861 ගුස්ටාව් ඩි පොන්ටන් කියන ප්‍රංශ ජාතික නව නිර්මාණකරුවා විසින් මුලින්ම “හෙලිකොප්ටර්“ යන නම භාවිතා කරනු ලැබූවා. ඔහු විසින් තමයි පළමුවෙන් ම වාෂ්ප එන්ජිමක් මේ සදහා භාවිතා කළේ. ඉන්පසුව අනෙක් අයත් වාෂ්ප එන්ජින් භාවිතයට යොමු වුනා. 1878 එන්රිකෝ ෆොර්ලානිනි (Enrico Forlanini) විසින් ද වාෂ්ප එන්ජිමක් යොදා ගෙන නිර්මාණයක් කරන ලද අතර එම වර්ගයේ පළමුවෙන්ම සාර්ථක වූ යානය ලෙස වාර්තා වුනා. එය මිනිසුන් රහිත යානයක් වූ අතර මීටර් 12 ක් පමණ උසකට ගමන් කිරීමට හැකියාව ලැබී ඇත. ලෝ ප්‍රකට විද්‍යාඥයෙක් වූ තෝමස් එඩිසන් ද හෙලිකොප්ටර් නිර්මාණය සදහා දායකත්වය ලබා දුන් නමුත් සාර්තකත්වයක් ලබා ගැනීමට ඔහුට හැකියාවක් නොලැබුණි. කෙසේ වෙතත් එඩිසන්ගේ තාක්ෂණය අනුව ජෑන් භයිල් නම් ස්ලෝවැකියානු ජාතික විද්‍යාඥයා විසින් හෙලිකොප්ටරයක් සකස් කරන ලද අතර 1905 දි එය මීටර් 4ක් ඉහළට ගමන් කළ අතර මීටර් 1500 ක් පමණ ඉදිරියට ගමන් කළේය.
1907 දී පමණ ප්‍රංශ ජාතික සොහොයුරන් දෙදෙනකු වන ජැකුවස් සහ ලුවිස් බ්‍රිජට් (Jacques and කරන ලද අත්හදා බැලීමක දී ඔවුන්ගේ යානය විනාඩියක පමණ කාලයක් අඩි 2 ක් පමණ ඉහළට එසවී තිබී ඇති අතර යානය ස්ථායිව තබා ගැනීමට මිනිසුන් දෙදෙනෙක් දෙපස සිටිය යුතුවිය. කෙසේ වෙතත් මෙය සම්පූර්ණ නිදහස් ගුවන් ගමනක් නොවු මුත් මිනිසුන් යානය තුළ සිටි නිසා මිනිසුන් ගමන් කළ මුල්ම යානය ලෙස ඉතිහාසයට එක් විය. එම වසරේ දී ම ප්‍රංශ ජාතික පෝල් කෝර්නු ( Paul Cornu) විසින් විරුද්ධ දිශාවට භ්‍රමණය වන අඩි 20 ක් පමණ දිග තල සහිත යානයක් නිපදවන ලද අතර අඩි 6-7 ක් පමණ ඉහළට ගමන් කිරීමට සමත් විණ. මේ තියෙන්නෙ එහි ඡායාරූපයක්.
ඉන්පසුව 1912 දී පමණ ජේකබ් එලිහැමර් (Jacob Ellehammer) විසින් යානයක් නිපදවන ලද අතර එය නිදහස් ගුවන් ගතවීම් කීහිපයක් සාර්ථකව සිදු කරන ලද මුත් පරීක්ෂණ අවධියේදීම විනාශ විය.1920 දී රෝල් පැටරාස් පෙස්කාරා විසින් ඉදිරියට ගමන් කල හැකි හෙලිකොප්ටරයක් නිපදවූ අතර ඔහුගේ සමකාලිනයෙකු වූ Etienne Oehmichen විසින් නිපදවන ලද යානය මීටර් 350 ක් පමණ ගමන් කිරීමට සමත් විය. එය ලෝක වාර්තාවක් වූ අතර ජාත්‍යන්තර ගගන නාවික ෆෙඩරේෂණය මගින් ද එය පිළිගන්නා ලදී. පෙස්කාරා විසින් එම වාර්තාව ද බිඳ හෙලූ මුත් යළිත් අඩි 5550 ක් පමණ ගමන් කිරීමෙන් ඔයිමිචෙන් විසින් වාර්තාවක් තබන ලදී. මේ තියෙන්නෙ ඒ යානය.
ඒ අතර කාලයේ දී ම එනම් 1923 දීම ජුවාන් ඩි ලා සියර්වා ( Juan de la Cierva) විසින් ද යානා ගැන පරීක්ෂණ කරන ලද අතර ඔහු විසින් අද දක්නට ලැබෙන ආකාරයේ යානා නිපදවීමට උත්සහ කරන ලදී. ඉහළට එසවීමට හා ඉදිරියට යාමට එතෙක් තිබූ බාධා ඔහුගේ පර්යේෂණ නිසා මඟහරවා ගැනීමට හැකි විය.
මින් පසුව විවිධ වකවානු වල විවිධ රටවල් වල විශේෂයෙන් ඇමරිකාවේ සහ සෝවියට් සමූහාණ්ඩුවේ රටවල හෙලිකොප්ටරය සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ සිදු කළ අතර ඇමරිකානු-රුසියානු ජාතිකයෙකු ලෙස සැළකෙන ඉගෝර් සිරෝස්කි විසින් වඩා සාර්ථක හෙලිකොප්ටරයක් නිපදවනු ලැබූ අතර ඔහු විසින් 100 පමණ විශාල සංඛ්‍යාවක් යානා නිපදවන ලදී. සමහර ලේඛණ වල ඔහු හෙලිකොප්ටරයේ පියා ලෙසද හඳුන්වා දෙනු ලැබේ. මෙසේ නිපදවනු ලැබු යානා විශාල වශයෙන් දෙවන ලෝක යුධ සමයේදී භාවිතයට ගනු ලැබිණ.
මා මෙහිදී සඳහන් කළේ හෙලිකොප්ටරයේ මූලික අවධිය පිළිබඳ විස්තර වන අතර මේ කොටස සැකසීමේ දී විකිපිඩියා පහත සබැඳියේ තොරතුරු ‍උපයෝගී කර ගන්නා ලදී. මෙහි අඩංගු ඡායාරූප ද එම සබැදියේ අඩංගුයි.http://en.wikipedia.org/wiki/Helicopter
මීළඟ ලිපියෙන් අපි හෙලිකොප්ටරය ගමන් ගන්නා ආකාරය බලමු.

0 ඔබගේ අදහස් දක්වන්න: